වහළයෙන් මතු වූ අභිරහස් නිසල සිරුර

අභිරහස් ලෙස මිය ගිය පුද්ගලයකුගේ මළ සිරුරක් කැකිරාව ඔළුකරඳ ප්‍රදේශයේ ව්‍යාපාරික ගොඩනැගිල්ලක කොන්ක්‍රීට් වහළය මත තිබී ඊයේ (29) රාත්‍රියේ සොයා ගත් බව කැකිරාව පොලිසිය පවසනවා.

කැකිරාව පොලිස් ස්ථානයට ලද තොරතුරක් අනුව නිලධාරීන් පිරිසක් සිදු කළ සෝදිසි මෙහෙයුමක දී එම මළ සිරුර සොයා ගෙන ඇතැයි පැවසේ.

කලක සිට වසා දමා තිබූ බව කියන මෙම ව්‍යාපාරික ගොඩනැගිල්ලේ කොන්ක්‍රීට් වහළය මත තිබීයදීයි මෙම මළ සිරුර සොයා ගෙන ඇත්තේ.

එම මළ සිරුර සොයා ගන්නා ලද අවස්ථාවේ දී පැවැති තත්ත්වය අනුව අදාළ පුද්ගලයා දින කිහිපයකට ඉහතදී මිය යන්නට ඇති බවටයි පොලිසිය අනුමාන කරන්නේ.

මෙලෙස අභිරහස් ලෙස මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි කරවිට උඩවත්තේ අමිල ප්‍රියදර්ශණ නමැති 44 හැවිරිදි විවාහක පුද්ගලයෙකු බවට පොලිසිය හඳුනාගෙන තිබෙනවා.

ඔහු දින කිහිපයක් නිවසින් අතුරුදන්ව සිට ඇති බවත්, ඔහුගේ මළ සිරුර පසුව මෙලෙස හමුව ඇත්තේ ඔහු පදිංචිව සිටි නිවසට මීටර් 500ක් පමණ දුරින් පිහිටි ස්ථානයක දී බවත්, පොලිසිය පවසනවා.

කෙසේ වෙතත් මෙය සිය දිවි නසා ගැනීමක් ද ස්වභාවික මරණයක් ද නැතහොත් ඝාතනයක් ද යන්න පිළිබඳව පොලිසිය මෙතෙක් නිශ්චිතව අනාවරණය කරගෙන නොමැති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් වූ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර, මෙම මරණය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා මේ වනවිට වැඩිදුර පොලිස් විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

මේ වනවිට අදාළ ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර, අනුරාධපුර උසස් පොලිස් නිලධාරීන්ගේ නියෝග අනුව කැකිරාව පොලිස් ස්ථානය මඟින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ ආරම්භ කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *