වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම හිටපු මැති ඇමතිවරුන්ගේ පොලිස් ආරක්ෂාව ඉවත් කිරීමට නව රජය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඔවුන්ගේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කර සිටි පොලිස් නිලධාරීන්ව අද (27) සිට යළි පොලීසියේ කටයුතු සඳහා කැඳවීමටයි පියවර ගෙන ඇත්තේ.

කෙසේවෙතත් හිටපු කතානායක, හිටපු නියෝජ්‍ය කතානායක සහ විපක්ෂ නායකගේ ආරක්ෂාව ඉවත් කර නොමැති අතර ඔවුන්ගේ ආරක්ෂාව මැතිවරණය පැවැත්වෙන තෙක් තවදුරටත් ලබා දෙනු ඇති.

එමෙන්ම රජයේ නිල නිවාස වහාම භාර දෙන ලෙස හිටපු සියලු මැති ඇමතිවරුන්ට දැනුම් දී තිබෙනවා.

ඒ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින්.

ඔහු සඳහන් කළේ හිටපු මැති ඇමතිවරුන් රැසක් තම නිල නිවාස ආපසු රජයට ලබා දීමට මෙතෙක් කටයුතු නොකිරීම හේතුවෙන් මෙම දැනුම් දීම සිදු කළ බවයි.

කෙසේවෙතත් හදිසියේ නිවසක් සොයා ගැනීමට නොහැකි මැති ඇමතිවරුන් සිටී නම් ඔවුන්ට මැතිවරණය පැවැත්වෙන තෙක් පමණක් මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ පමණක් රැඳී සිටිය හැකි බව නව රජය ප්‍රකාශ කළා.

හිටපු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කර සිටි පොලිස් නිලධාරීන්ව අද (27) සිට යළි කැඳවා ඇති බව පොලීසිය පවසයි.

හිටපු කතානායක, හිටපු නියෝජ්‍ය කතානායක සහ විපක්ෂ නායක හැර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සපයා තිබූ සියලුම පොලිස් නිලධාරීන් ව නැවත කැඳවීමට පියවර ගෙන ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගිය අඟහරුවාදා (24) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමිව තිබූ වැටුප්,දීමනා,ඉන්ධන දීමනා,ජලබිල්,විදුලි බිල් ගෙවීම් ඇතුලු සියලු වරප්‍රසාද අහිමි වනවා.

වසර 5ක සේවා කාලය සපුරා නොමැති නවක මන්ත්‍රීවරුන් 88 දෙනෙකුට මෙවර විශ්‍රාම වැටුපද අහිමි වී ඇති බවටයි වාර්තා වන්නේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේද සඳහන් කර තිබුනේ මන්ත්‍රී විශ්‍රාම වැටුප්,විදුලි බිල්,ජල බිල් ගෙවීම් මෙන්ම මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදීම යන සියල්ල අත්හිටුවන බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *