වැලිකන්ද කෙත් ඇළට වැටුණු දරුවා කිලෝමීටර් 02ක් ගසාගෙන ගිහින්

ඊයේ (26) දහවල් පොළොන්නරුව, වැලිකන්ද, සිංහපුර ප්‍රදේශයේ ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු කුඩා දරුවෙක් කිලෝමීටර් 02ක් පමණ සැඩ පහරට ගසාගෙන ගොස් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැලිකන්ද, ජයවික්‍රම ගම, මහවැලි සිංහපුර, අංක 27 ලිපිනයේ පදිංචිව සිටි වයස අවුරුදු 02ක පිරිමි දරුවෙක්.

දරුවාගේ මව අවුරුදු උත්සවයක් නැරඹීමට දරුවා වැඩිමහල් දියණියට භාරදී ගිය අවස්ථාවේ මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ පා ඇති බවයි වැලිකන්ද පොලිසිය සඳහන් කළේ.

වැලිකන්ද, සිංහපුර ප්‍රදේශයේ පෞද්ගලික වී මෝලක සේවය කරන සේවකක්, දරුවා ඇලේ ගසාගෙන යන අයුරු දැක තවත් පිරිසක් සමඟ එක්ව දරුවා ගොඩගෙන වැලිකන්ද රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් දරුවා රෝහලට ඇතුළත් කරන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බවයි තොරතුරු වාර්තා වන්නේ.

පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා දරුවාගේ සිරුර පොළොන්නරුව අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවයි වැලිකන්ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

සිද්ධිය පිළිබඳව පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වාගේ උපදෙස් මත වැලිකන්ද පොලිස් ස්ථනය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *