විදුලි සංදේශ නියාමන පනත ගැන අධිකරණයේ මතය රහසේ කථානායකට

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලි සංදේශ නියාමන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභවය පිළිබඳ සිය රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කළා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වාගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වුණා.

එහිදී පෙත්සමක් ගොනු කර තිබූ විද්‍යුත් විකාශකයින්ගේ සංසදය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක අධිකරණය හමුවේ කරුණු දක්වමින් යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධානවලින් විදුලි සංදේශ නියාමන කොමිසමේ ස්වාධීනත්වය ගිලීහී ගොස් එය කෙලින්ම විශයභාර අමාත්‍යවරයාගේ ග්‍රහණයට නතුවන බව සඳහන් කළා.

ගුවන්විදුලි තරංග වෙන්කිරීම, බලපත්‍ර නිකුත් කිරීම, ඒවා ආපසු කැඳවීම යනාදී කරුණු සම්බන්ධයෙන් එම කොමිසමට අත්තනෝමතික බලයක් මෙම පනත් කෙටුම්පත තුළින් ප්‍රදානය කර ඇති බවත්, ඒ තුළින් නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ මූලික අයිතිය ඇතුළු මූලික අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය වන බවත් ඔහු පෙන්වා දුන්නා.

අදාළ කොමිසම වෙත සීමාකිරීම් වලින් තොරව අත්තනෝමතික බලයක් ප්‍රදානය කිරීම නීතියට පටහැනි බවත් ඒ හරහා දශක ගනනාවක් ගුවන්විදුලි තරංග වලට හිමිකාරීත්වය දැරූ ආයතනවලට දැඩි අගතියක් සිදුවන බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියා.

යෝජිත පනත් කෙටුම්පත යටතේ කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව පවා දැනට ප්‍රදානය කර තිබෙන විකාශන බලපත්‍ර ආපසු කැඳවීමට විදුලි සංදේශ නියාමන කොමිසමට බලය ප්‍රදානය කර ඇතැයි චෝදනා කළ ජනාධිපති නීතිඥවරයා සීමාකිරීම්වලින් තොරව මෙවැනි අත්තනෝමතික බලයක් එම කොමිසම වෙත ප්‍රදානය කිරීම සම්පූර්ණයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් කියා සිටියා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් ජනතාවට උසස් විදුලි සංදේශ සේවාවක් සපයා දීමේ අරමුණින් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළා.

විදුලි සංදේශ සේවාවන්ට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහාත් දැනට පවත්නා තත්වයන් යාවත් කාලීන කිරීම මෙහි අරමුණ බවත් ඔහු කියා සිටියා.

මෙම පනත් කෙටුම්පත තුළින් විදුලි සංදේශ නියාමන කොමිසමට අත්තනෝමතික බලයක් පැවරෙන බවට පෙත්සම්කාර පාර්ශ්වය විසින් ඉදිරිපත් කරන තර්ක ප්‍රතික්ෂේප කරන බව කී අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා මෙම කොමිසමට නීති ,ආර්ථික සහ ඉංජිනේරු ක්ෂේත්‍රයන් නියෝජනය කරන ප්‍රවීනයන් තිදෙනෙකු පත්කෙරන බවත් එබැවින් එම කොමිසමට අත්තනෝමතික ආකාරයෙන් කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවත් ඔහු පෙන්වා දුන්නා.

විදුලි සංදේශ සේවා ලබා ගැනීමේදී අසත්‍ය තොරතුරු සපයනු ලබන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා කර තිබෙන්නේ මහජනතාව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් බවත් ඔහු සඳහන් කළා.

වත්මන් පනත යටතේ වුවද රටතුළ හදිසි තත්වයක් උද්ගත වූ අවස්ථාවක විකාශය කරනු ලබන කරුණු සම්බන්ධයෙන් විධාන නිකුත් කිරීමට විශය භාර අමාත්‍යවරයාට බලය තිබෙන බවත් එම නීතිමය ප්‍රතිපාදනය මෙරට ඉතිහාසය තුළ මේ දක්වා ක්‍රියාවේ යොදවා නොමැති බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නා.

එබැවින් මෙම පනත් කෙටුම්පත තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් හෝ ආණ්ඩුක්‍රම ව්‍ අවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝනය වීමක් සිදු නොවන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන වැඩිදුරටත් පෙන්වා දුන්නා.

ඉන් අනතුරුව පෙත්සම් වලට අදාළ වාචික දේශන ඉදිරිපත් කිරීම අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ලිඛිත දේශන තිබේ නම් මේ මස 30 වනදා පස්වරු 3.00 ට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් නියෝග කළා.

ඉන් අනතුරුව පෙත්සම් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බවත් නියෝග කළා.

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *