විශ්‍රාමික දුම්රිය රියැදුරන් සේවයට

දුම්රිය රියැදුරු වර්ජනය හේතුවෙන් මගීන්ට සිදුවන අපහසුතා මගහරවා ගැනීම සඳහා හෙට දිනයේ විශ්‍රාමික දුම්රිය රියැදුරන් සේවයට කැඳවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

වර්ජනය හේතුවෙන් අදත් දුම්රිය ගමන්වාර 50කට වැඩි සංඛ්‍යාවක් අවලංගු වූ අතර මේ හේතුවෙන් මගීන් පත්වුණේ දැඩි අපහසුතාවයකටයි.

මේ අතර වර්ජනයේ නිරත වෘත්තිය සමිති සහ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතර සාකච්ඡාවක් හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

උසස්වීම් ලබා නොදීම, නව බඳවා ගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ලොකෝමොටිව් එන්ජින් රියැදුරන්ගේ සංගමය පසුගිය 6 වැනිදා සිට වර්ජනයක නිරත වනවා.

දුම්රිය ධාවනාගාර 5න් ධාවනාගාර දෙකක රියැදුරන් 80 දෙනෙකු මෙම වර්ජනයට එක්ව සිටින බවයි එම සංගමය පැවසුවේ.

වර්ජනය හේතුවෙන් අද දුම්රිය ගමන්වාර 50 කට අධික සංඛ්‍යාවක් අවලංගු වී තිබෙනවා.

මෙම පසුබිම හමුවේ දුම්රිය මගීන් අදත් අපහසුතාවට පත්ව සිටි අතර, ඇතැම් දුම්රිය ස්ථාන පාළු ස්වභාවයක් ගෙන තිබුණා.

ලොකෝමොටිව් එන්ජින් රියැදුරන්ගේ සංගමය සඳහන් කළේ තම ගැටලුවලට මෙතෙක් විසඳුමක් නොලැබුණු හෙයින් හෙට දිනයේත් වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

කෙසේවෙතත් විශ්‍රාමික දුම්රිය රියැදුරන් යොදා ගනිමින් හෙට දිනයේ දුම්රිය ධාවනය කරවීමට සැලසුම් කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ අතර වර්ජනයේ නිරත වෘත්තිය සමිති සහ ප්‍රවාහන අමාත්‍යාංශය අතර සාකච්ඡාවක් හෙට දහවල් පැවැත්වීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.

ප්‍රවාහන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම සාකච්ඡාවට දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලු වෘත්තිය සමිතිවල නායකයින් සහ සභාපතිවරුන් කැඳවා ඇති බවයි අප කළ විමසීමකදී එම අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

මේ අතර වර්ජනය පැවතිය ද අද දිනයේත් දුර ගමන් සේවා සහ රාත්‍රී තැපැල් දුම්රිය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කරන බව වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති පවසනවා.

මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියලු බස් රථ හෙට දිනයේ ධාවනය කෙරෙන බව එම මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් පවසනවා.

අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් සෑම ඩිපෝවක්ම දැනුවත්කර ඇති බවයි.

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *