විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ

ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායක කාර්යයට කාන්තාවන් 23 දෙනෙකු තේරී පත්වීම රටක් ලෙස ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බව මගේ හැඟීමයි. යහපත් ආණ්ඩුකරණයකට මෙන්ම පරමාදර්ශී පාර්ලිමේන්තුවකට මෙය සුවිශේෂී වන අතර ඒ තුළින් ලෝකය තුළ ශ්‍රි. ලංකාව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැපීපෙනෙන වෙනසක් සිදුකළ රටක් ලෙස පිළිගැනීමකට ලක්වනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදයේ සාරවත් පිළිඹිබුවක් මේ තුළින් ඉස්මතු වන අතර ස්ත්‍රී පුරුෂ සමාජභාවය ඇතිකිරීමේ ලෝක දෘෂ්ටිය වෙත දැක්වූ යහපත් ප්‍රතිචාරයක් ලෙසද හඳුනාගත හැකිය.

කාලයක් පුරා කාන්තාවන්ගේ දේශපාලන සහභාගීත්වය වර්ධනය කරගැනිම සඳහා අප විසින් ගෙන ගිය සමාජ දේශපාලන කතාබහ මේ අයුරින් හෝ ඵලදැරීම පිළිබඳ නිහතමානි සතුටක් හා ආඩම්බරයකින් පසු වන අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ඒ වෙනුවෙන් දැක්වූ කැපවීමද කෘතවේදීව සිහිපත් කරමි. වැඩිම මන්ත්‍රීවරියන් පිරිසක් එකවර බිහිකළ ශ්‍රී ලංකාවේ පළමු දේශපාලන පක්ෂය ලෙස ජාතික ජනබලවේගය ඉතිහාසගත වන අතර ඒ සඳහා ඔවුන්ට සුබපතමි. ඒ වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍යතුමියගේ කැපවීමද අගය කරමි.

ආණ්ඩුකරණයට, නීතිසම්පාදනයට කාන්තාවගේ සෘජු සහභාගීත්වය ලැබීම ආදර්ශවත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරගැනීමට මෙන්ම හොරකම, වංචාව, දූෂණය සහ නාස්තිය අවම කරගැනීමට මහඟු අවස්ථාවක් ඇතිවන බව මම විස්වාස කරමි. ඒ සඳහා කාන්තාවන්ගේ සකසුරුවම් ඥානය උපයෝගී කරගත හැකි වන බව ද විස්වාස කරමි.

කාන්තාවන්ගේ දේශපාලන සහභාගීත්වය වැඩිකිරීමට අවශ්‍ය ඕනෑම සහයෝගයක් පාර්ලිමේන්තුවෙන් පිටත සිට හෝ ලබාදීමට මම සූදානමින් සිටින අතර මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ සියලුම මන්ත්‍රීවරියන්ට යහපත් රටක්, යහපත් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරමි.

විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

What's your reaction?

Related Posts

1 of 389

Leave A Reply

Your email address will not be published. Required fields are marked *