ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති පළමු ටෙස්ට් තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (25) සමත් වුණා.

ඒ දින හතරක් පුරා පැවති පළමු තරගයෙන් බංග්ලදේශය ලකුණු 328කින් පරාජයට පත් කරමින්.

පළමු තරගයේ දෙවෙනි ඉනිම සඳහා ලකුණු 511ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 49යි පන්දු 02ක් අවසානයේ සියල්ලන් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 182ක් පමණයි.

ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 280ක් ලබා ගත් අතර, ඊට පිළිතුරු ලෙස බංග්ලාදේශයට පළමු ඉනිමට රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 188ක් පමණයි.

අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම දෙවෙනි ඉනිම සඳහා ලකුණු 418ක් රැස් කරනු ලැබුවා.

වසර 147ක් ඉපැරණි ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ එක් කණ්ඩායමක පිතිකරුවන් දෙදෙනෙකු ඉනිම් දෙකේදීම ශතක වාර්තා කළ ලොව තුන්වැනි අවස්ථාව සනිටුහන් කරන්නට ටෙස්ට් නායක ධනංජය ද සිල්වාට සහ කමිඳු මෙන්ඩිස්ට පළමු තරගයේදී හැකියාව ලැබුණා.

පළමු ඉනිමේදී සහ දෙවෙනි ඉනිමේදී ද ද්විත්ව ශතක සබඳතාවක් එක්කළ මේ පිතිකරුවන් සුසංයෝගය වාර්තා පොත් අතරට එක්වුණේ ඉනිම් දෙකේදීම ලකුණු 150ට වඩා ඉහළ සබඳතාවක් ගොඩනැගූ ලොව තුන්වැනි පිතිකරුවන් යුගළ ලෙසටයි.

නායක ධනංජය ද සිල්වා ලකුණු 108ක් රැස්කළේ සිය 12 වැනි ශතකය වාර්තා කරමින්.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ කමිඳු මෙන්ඩිස් සිය දෙවැනි ටෙස්ට් ශතක වාර්තා කරමින් රැස්කළ ලකුණු සංඛ්‍යාව 164ක්.

පළමු ඉනිමේදී ද කමිඳු සහ ධනංජය ශතකලාභින් බවට පත්වෙද්දී, එක් කණ්ඩායමක ක්‍රීඩකයින් දෙදෙනෙකු ජගත් ටෙස්ට් තරගයක ඉනිම් දෙකේදීම ශතක වාර්තා කළ තුන්වැනි අවස්ථාව ද මෙයයි.

මීට පෙර 1974දී ඔස්ට්‍රේලියාවේ ග්‍රෙග් – ඉයන් යන චැපල් සොහොයුරන් මෙන්ම 2014 වසරේදී පාකිස්ථානයේ මිස්බා උල් හක් සහ අසාර් අලී මෙම දස්කම දක්වා තිබුණා.

දසවසරකට පසු ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකු ඉනිම් දෙකේදී ටෙස්ට් ශතක වාර්තා කරද්දී එවැනි දස්කමක් දැක් වූ හයවැනි සහ හත්වැනි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන්නේ ද ධනංජය සහ කමිඳුයි.

එමෙන්ම හත්වැනි හෝ ඊට පහළින් පැමිණි පිතිකරුවෙකු ටෙස්ට් ඉනිම් දෙකේදීම ශතක වාර්තා කළ ලොව පළමු ක්‍රීඩකයා ලෙසද කමිඳු මෙන්ඩිස් වාර්තා පොත් අතරට එක්වුණා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *