ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයෙන් පසු මැ.කො.ස රැස්වෙයි

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් තම කොමිසම රැස්වී තීරණයකට එළඹෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක ප්‍රකාශ කළා.

ශ්‍රේෂ්ඨාධිකරණය, මැතිවරණ කොමිසමට ඊයේ නියෝග කළේ, මෙම ඡන්ද විමසීම හැකි ඉක්මනින් පැවැත්වීමට පියවර ගන්නා ලෙසයි.

ඉකුත් වසරේ මාර්තු මස 09 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීමෙන් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීන්දු කළා.

පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීමෙන් මූලික මිනිස් අයිතිවාසිකම් කඩවූ බවට තීන්දුවක් ඉල්ලා මෙලෙස පෙත්සම් ගොනු කර තිබුණේ සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆරල් සංවිධානය විසින්.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු එහි සාමාජිකයින්, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යංශ ලේකම්වරයා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු අමාත්‍ය මණ්ඩලය, රජයේ මුද්‍රණාලයාධිපතිනිය, පොලිස්පතිවරයා ඇතුළු 35 දෙනෙකු එහි වග උත්තරකරුවන් ලෙස නම් කර තිබුණා.

එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල කියා සිටියේ මුදල් අමාත්‍යවරයා වන ජනාධිපතිවරයාගේ පක්ෂපාතී ක්‍රියා හා අතපසුවීම් මඟින් ජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහතික කර ඇති මූලික අයිතිවාසිකම් අත්තනෝමතිකව උල්ලංඝණය වී ඇති බවයි.

එමෙන්ම අදාළ කාලය තුළ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ නිමල් පුංචිහේවා, එස්. බී. දිවාරත්න, එම්.එම්. මොහොමඩ්, කේ.පී.පී. පතිරණ සහ පී.එස්.එම්. චාල්ස් යන සාමාජිකයන්ගේ ක්‍රියා කලාප මගින් ද ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවටද විනිසුරු මඬුල්ල පෙන්වා දුන්නා.

ඒ අනුව, විනිසුරු මඩුල්ල වෙනුවෙන් විනිසුරු ගාමිණී අමරසේකර විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශයට පත්කළ තීන්දුව මගින් නියෝග කළේ මැතිවරණ කොමිෂන් සභාවට පැවරී ඇති බලතල අනුව සෙසු රාජ්‍ය ආයතනවල සහය ලබාගෙන හැකි මුල් අවස්ථාවේදීම මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙසයි.

තවද පෙත්සම්කරුවන්ට රුපියල් එක්ලක්ෂ පනස් දහස බැඟින් වූ නඩු ගාස්තුවක් ගෙවන ලෙසට ද විනිසුරු මඬුල්ල එහිදී රජයට නියෝග කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *