සංචාරක තහනම බොරුවක් -තවමත් සංචාරක උපදේශනය දෙවැනි මට්ටමේ

ශ්‍රී ලංකාවට කාලයකට පෙර හඳුන්වා දී තිබූ සංචාරක උපදේශනයේ වෙනසක් සිදුකර නොමැති බවත්, ශ්‍රී ලංකාවට සංචාරක තහනමක් පනවා ඇති බව පැවසීම ‘ව්‍යාජ පුවතක්’ බවත් ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් පවසනවා.

ඇය මේ බව පැවසුවේ කොළඹ අමෙරිකානු මධ්‍යස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

යම් ආරක්ෂක තර්ජනයක් සම්බන්ධයෙන් අමෙරිකානු තානාපති අංශ දැනගතහොත් එම තොරතුර සම්බන්ධයෙන් සිය කාර්ය මණ්ඩලය, අමෙරිකානු පුරවැසියන් සහ අදාළ රජය දැනුවත් කිරීම කළ යුතු බවත් ඒ සම්බන්ධයෙන් දෙබිඩි ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන බව ඇය කියා සිටියා.

එය ලොව පුරා රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල දී අමෙරිකාව භාවිත කරන පිළිගත් ක්‍රමවේදය එය බව සඳහන් කළ අමෙරිකානු තානාපතිනිය කියා සිටියේ, ආරුගම්බේ ප්‍රදේශයට ඇති තර්ජනය සම්බන්ධයෙන් දැනගත් පසු එම දැනගත් කරුණු ශ්‍රී ලංකා බලධාරීන් ට දැන්වූ බවයි.

ඒ සඳහා ශ්‍රී ලංකා බලධාරින් කඩිනම් ප්‍රතිචාර දැක්වූ බවත් සිය තානාපති කාර්යාලය මෙරට බලධාරින් සමග කාර්යශීලිව, දෛනිකව අදහස් හුවමාරු කරගන්නා බව ඇය කියා සිටියා.

එසේම ශ්‍රී ලංකාවේ නායකත්වය සහ ආරක්ෂක නිලධාරීන් සමග ඇති සහයෝගය අගය කරන බව සඳහන් කරන ඇය වැඩිදුරටත් පැවසුවේ, විනිවිදභාවයට ඔවුන්ගේ ඇති කැපවීම විශේෂ වන බවයි.

මේ අතර ශ්‍රී ලංකාවට සංචාරක තහනමක් පනවා ඇති බවට පළ වන පුවත ව්‍යාජ එකක් බවත්, අමෙරිකානු තානාපති කාර්යාලය විසින් ඉකුත් සතියේ දී ආරක්ෂක අනතුරු ඇඟවීම සිදු කළේ, අමෙරිකානු පුරවැසියන් ට නැවත දැනුම්දෙනතුරු ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීම නතර කරන ලෙස පමණක් බවයි.

කෙසේ නමුත් ශ්‍රී ලංකාව වෙනුවෙන් නිකුත් කර තිබූ සංචාරක උපදේශනයේ කිසිදු වෙනසක් සිදු කර නැති බව පවසන අමෙරිකානු තානාපතිවරිය සඳහන් කළේ, එය දෙවැනි මට්ටමේ (Level 2) උපදේශනක් බවයි.

එය බොහෝ වසර ගණනක් පැවතුණේ ඒ ආකාරයෙන් ම බවත් මාලදිවයින, ඉතාලිය සහ ප්‍රංශය වෙනුවෙන් නිකුත්කර ඇති සංචාරක උපදේශන හා සමාන වන බව අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් වැඩිදුරටත් කියා සිටියා.

What's your reaction?

Related Posts

1 of 357

Leave A Reply

Your email address will not be published. Required fields are marked *