සිංහයින් හා කිවියන් ගැටෙන T20 තරගාවලිය හෙටින් ඇරඹේ

ශ්‍රී ලංකා – නවසීලන්ත තරග දෙකකින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (09) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය මෙරටදී පස්වසරකට පසු පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියකදී මුණ ගැසෙන අතර අවසන් වරට ඔවුන් 2019 වසරේදී මෙරටදී තරග වැදුණා.

එම තරගාවලිය තරග 2කට 1ක් ලෙසින් ජය ගන්නට සමත් වුණේ නවසීලන්ත කණ්ඩායමයි.

එමෙන්ම කිවියන්ට එරෙහිව අවසන් වරට සහභාගි වූ පන්දුවාර 20 තරගාවලි හතරම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වී තිබීමත් කැපී පෙනෙනවා.

2013 වසරෙන් පසු වසර 11කින් නවසීලන්තයට එරෙහිව නොලඳ පන්දුවාර 20 තරගාවලි ජය සොයා ශ්‍රී ලංකා කණ්ඩායම හෙට සිට තරග බිමට පිවිසෙනු ඇති.

දෙරට අතර මේ දක්වා පන්දුවාර 20 තරග 23ක් පවත්වා තිබෙන අතර ඉන් තරග 13ක් නවසීලන්තය ජය ගනිද්දී, තරග 9ක ජය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වුණා.

එක් තරගයක් නිමා වුණේ ජයපරාජයෙන් තොරයි.

ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු පන්දුවාර 20 ක්‍රිකට් තරගය හෙට රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිතයි.

What's your reaction?

Related Posts

1 of 447

Leave A Reply

Your email address will not be published. Required fields are marked *