සිරකරුවන්ට ඡන්දය දාන්න මාර්ගෝපදේශ මාලාවක්

ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ මහ මැතිවරණවලදී රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සිරකරුවන්ට ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව සලසා දීමට පියවර ගන්නා ලෙස අවශ්‍ය මාර්ගෝපදේශ මාලාවක් අදාළ ආයතන වෙත නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

හිටපු රිමාන්ඩ් සිරකරුවකු වන සුදේශ් නන්දිමාල් ද සිල්වා විසින් පෙත්සම ඉදිරිපත් කළා.

එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින්, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ඇතුළු නව දෙනකු නම් කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව යම් පුද්ගලයෙකු අධිකරණයක් මගින් වරදකරු කරන තුරු ඔහුට නිර්දෝෂී භාවයේ පූර්ව නිගමනය හිමිවන බවත් ඔහුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් සියල්ල භුක්ති විඳීමට අවස්ථාව සැලසෙන බවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තියට අනුව සෑම සිරකරුවෙකුම මනුෂ්‍යයකු වශයෙන් සැලකිය යුතු බවත් සාමාන්‍ය පුද්ගලයකු භුක්ති විදින සියලු වරප්‍රසාද ඔහුට සලසා දීමට පියවර ගත යුතු බව අවධාරණය කර ඇතැයි පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.

තමාද ඉකුත් කාලයේ වසර කීපයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටීම නිසා මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ බව පෙන්වා දුන් පෙත්සම්කරු මේ ආකාරයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අතිවිශාල සැකකරුවන් පිරිසකට මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහිමි වී තිබෙන බවත් සඳහන් කළා.

එබැවින් ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණ සහ මහ මැතිවරණවලදී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිරකරුවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දන්වමින් මාර්ගෝපදේශ මාලාවක් අදාළ ආයතන වෙත නිකුත් කරන ලෙස මැතිවරණ කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *