සුරාබදු කොමසාරිස් ජනරාල් ඇතුළු හතරකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් උල්ලංඝනය කරමින් සුපිරි වෙළඳසැල් හා දේශපාලන හිතවතුන්ට මත්පැන් බලපත්‍ර අලුතින් නිකුත් කිරීම තුළින් සුරාබදු කොමසාරිස් ජනරාල් ඇතුළු හතර දෙනකු අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වුණා.

නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි ගිහාන් ශවින්ද ප්‍රනාන්දු විසින් පෙත්සම ඉදිරිපත් කළා.

එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස සුරා බදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි, එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරුන්වන ඒ. එම්. පී. අරම්පත් සහ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරුන් වූ කේ. ධර්ම සීලන් සහ සී.ජේ.ඒ. විරක්කොඩි යන අය නම් කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ ඉකුත් අප්‍රේල් මස 02වනදා අවිධිමත් ලෙස මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් සලකා බැලූ අවස්ථාවේදී පවතින සුරා බදු නීති රෙගුලාසිවලට පරිබාහිරව මත්පැන් බලපත්‍ර නිකුත් නොකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සුරා බදු කොමසාරිස් ජනරාල් වෙත නියම කළ බවයි.

එහෙත් එම නියෝගය උල්ලංඝනය කරමින් වග උත්තරකරුවන් විසින් දේශපාලකයින්ගේ හිතවතුන්, ඔවුන්ගේ ඥාතීන් හා සුපිරි වෙළඳසැල් ජාල සඳහා අලුතින් මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවත් පෙත්සමෙන් චෝදනා කරනවා.

ඒ තුළින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග උල්ලංඝනය කරමින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සුරා බදු කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් හතර දෙනාට එරෙහිව සුදුසු නීතිමය පියවර ගන්නා ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *