හරක්කටා කියවන්න පොත්පත් ඉල්ලයි

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නඳුන් චින්තක හෙවත් හරක් කටා දැනට රඳවා සිටින තංගල්ල පැරණි බන්ධනාගාරයේ සිරමැදිරියට විදුලි පංකාවක් සපයා දීමට හැකියාවක් තිබේදැයි සොයා බලන ලෙස ඔහුගේ නීතීඥවරයා ඊයේ (26) අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එමෙන්ම, තම සේවාදායකයාට කියවීමට පුවත්පත් හෝ පොත්පත් සපයා ගැනීමට අවස්ථාව සලසා දෙන ලෙස ද ඔහු අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කටා දැඩි ආරක්ෂාවක් යටතේ අද කොළඹ මහාධිකරණයට රැගෙන ආවා.

ඒ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටියදී පලායාමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනා යටතේ ඔහු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුවකට පෙනී සිටිම සඳහායි.

මෙහිදී ත්‍රස්ත විමර්ශන කාර්යාංශය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ ඉකුත් නඩු දිනයේ හරක්කටාගේ නීතිඥයින් කරනු ලැබූ ඉල්ලීම් සපුරාලීමට මේ වන විට පියවර ගෙන ඇති බවයි.

එම ඉල්ලීම් පරිදි හරක්කටා නමැත්තාට මෙට්ටයක් සපයා දීමට කටයුතු කර ඇති බව පැවසු රජයේ නීතීඥවරයා වැඩිදුරටත් සඳහන් කළේ විත්තිකරුට ඥාතීන් හා නීතිඥවරු හමුවීමට අවස්ථාව සලසා දී ඇති බවයි.

ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය උපරිම පියවර ගෙන ඇති බවද රජයේ නීතීඥවරයා සඳහන් කළා .

තම සේවා දායකයාට එරෙහිව විවිධ අධිකරණවල නඩු 20 ක් පමණ පවතින බැවින් ඔහුට බාධාවකින් තොරව නීතිඥවරු හමුවී උපදෙස් ලබාදීමට අවස්ථාව තිබිය යුතු බව විත්තිකාර හරක්කටා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළා.

එමෙන්ම, සිය සේවා දායකයා තම ඥාතීන් හමුවී කතාබහ කරන අවස්ථාවේදී ඒවා පටිගත කිරීමට පොලිස් නිලධාරීන් කටයුතු කර ඇති බවට චෝදනා කළ ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් පැවසුවේ එවැනි අවස්ථාවල පොලිස් නිලධාරින් ඒ ආසන්නයේම රැඳී සිටීම නිසා ඔවුන්ට නිදහසේ අදහස් හුවමාරු කර ගැනීමට නොහැකි වී ඇති බවයි.

ඒ පිළිබඳව අවධානය යොමුකළ විනිසුරුවරයා රජයේ නීතිඥවරයාට යෝජනා කළේ සැකකරුවන්ගේ ආරක්ෂාව සඳහා නිලධාරීන් රැඳී සිටීම අවශ්‍ය වුවද මෙවැනි හමුවීම් සිදුවන අවස්ථාවේදී ආරක්ෂිත කැමරා ඔස්සේ එම කාර්යය නිරීක්ෂණය කිරීමට පොලිස් නිලධාරීන්ට හැකි බවයි.

එවැනි හමුවීම් හඬ රහිතව වීඩියෝ ගතකර අවශ්‍ය නම් නිරීක්ෂණය කිරීමට හැකියාවක් තිබෙන බවත් විනිසුරුවරයා පෙන්වා දුන්නා.

එහිදී රජයේ නීතිඥවරයා සඳහන් කළේ මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව සොයා බලා මීළඟ දිනයේදී අධිකරණය දැනුවත් කරන බවයි.

එමෙන්ම තම සේවා දායකයා රදවා සිටින ස්ථානය අධික තාපයකින් යුක්ත වාතාශ්‍රය අවම ස්ථානයක් බවත්, ඔහුට විදුලි පංකාවක් සපයා දීමට හැකියාවක් තිබේදැයි සොයා බලන ලෙසත් හරක්කටා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා මෙහිදි අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ තම සේවා දායකයා ට කියවීම සඳහා පුවත්පත් හෝ පොත්පත් සපයා ගැනීමටද අවස්ථාව සලසා දෙන ලෙසයි.

මෙම ඉල්ලීම් ත්‍රස්ත විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා වෙත ලිඛිතව ඉදිරිපත් කරන්නැයි විත්තියේ නීතිඥවරුන්ට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එම ඉල්ලීම් ඉටු නොවන්නේ නම් ඒ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කිරීමට සලකා බලන බවත් දැනුම් දි තිබෙනවා.

නඩුවේ දෙවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ නඩු විභාගය අවසන් වීමෙන් පසුව අධිකරණ ශාලාව තුළදී තම සේවා දායකයා හමුවී උපදෙස් ලබාදීමට අවස්ථාවක් සලසා දෙන ලෙසයි.

ඊට ප්‍රතිචාර දක්වමින් විනිසුරුවරයා පැවසුවේ නඩු විභාගය අවසන් වූ විගස ආරක්ෂක හේතූන් මත ඔවුන් අධිකරණයෙන් රැගෙන යාම අත්‍යවශ්‍ය බවයි.

අවි දරා ගත් ආරක්ෂක නිලධාරීන් විශාල වශයෙන් අධිකරණ භූමිය තුළ රැඳී සිටීම එතරම් යහපත් නොවන බවද විනිසුරුවරයා පෙන්වා දී තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *