හසීනාට පුටුව අහිමි කළ බංග්ලාදේශ අරගලයේ සුලමුල මෙන්න

කලක් ලෝකයේ දුප්පත් ම රටක් වූ බහුතර මුස්ලිම් ප්‍රජාවක් වෙසෙන බංග්ලාදේශය 2009 සිට ෂෙයික් හසීනාගේ නායකත්වය යටතේ සැලකිය යුතු ආර්ථික සාර්ථකත්වයක් අත්කර ගත්තා.

පසුගිය දශකය තුළ එහි ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් වැඩි වී ඇති අතර පසුගිය වසර 20 තුළ මිලියන 25කට අධික ජනතාවක් දරිද්‍රතාවයෙන් මුදාගෙන ඇති බව ලෝක බැංකුවද ප්‍රකාශ කළා.

එරට පළමු නායකයා වූ ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ වැඩිමහල් දියණිය වන හසීනා 1996 වසරේදී බහුපක්ෂ මැතිවරණයකින් ප්‍රථම වරට අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ අතර හසීනා එරට හඳුන්වනු ලබන්නේ, “සටන් වදින බේගම්වරියක්” ලෙසයි.

අනතුරුව 2009 වසරේදී නැවතත් බලයට පත් වූ හසීනා සිව්වැනි වරටත් මේ වසරේදී බලයට පත්වුවද ඇය ආර්ථික සාර්ථකත්වය, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් උල්ලංඝණය කරමින් පැමිණ ඇති බවට චෝදනා එල්ල වුණා.

1971 බංග්ලාදේශ නිදහස් සටනට එක්වූ යුද විරුවන්ගේ ඥාතීන්ට රජයේ රැකියාවලින් 30%ක් දීමට හසීනා රජය සැරසීමත් සමගම ඊට එරෙහිව ශිෂ්‍යයින් උද්ඝෝෂණ ඇරඹුණේ පසුගිය ජූනි මාසයේදී.

එම උද්ඝෝෂණ පාලනයට රජය දැඩි ලෙස බලය පාවිච්චි කළ අතර, උද්ඝෝෂණ අතරතුර විශාල පිරිසක් මියගියා.

පසුව එරට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් රජයේ තීරණය වෙනස් ක‍රමින් නි‍යෝගයක් නිකුත් කරනු ලැබුවා.

ඉන් අනතුරුව එරට තුළ උද්ඝෝෂණ තරමක් දුරට අඩු වුවත්, පසුගිය සතියේ උද්ඝෝෂණ නැවතත් ආරම්භ වූයේ දේශපාලන මුහුණුවරක් ගනිමින්.

එහිදී උද්ඝෝෂකයින් රජයට බලකර සිටියේ අගමැතිවරිය වහාම ධූරයෙන් ඉවත්විය යුතු බවටයි.

මේ අතර ඊයේ (04) සහ අද (05) දිනය තුළ පැවති උද්ඝෝෂණවලින් 100කට ආසන්න පිරිසක් මියගිය බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

දැඩි විරෝධතා හමුවේ අද (05) අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වූ ෂෙයික් හසීනා ඇගේ සහෝදරිය වන ෂෙයික් රෙහානා සමග අග්‍රමාත්‍ය නිල නිවසේ සිට ඩකා ගුවන්තොටුපොළ ආසන්නයේ පිහිටි කුරුමිටෝලා ගුවන් හමුදා කඳවුර වෙත පැමිණි බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරනවා.

අනතුරුව බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය රැගත් බංග්ලාදේශ ගුවන් හමුදාවට අයත් ලොක්හීඩ් C-130 හමුදා ගුවන් යානය අද (05) පස්වරුවේ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි ගාසියාබාද් ගුවන් හමුදා කඳවුර වෙත පැමිණ තිබෙනවා.

විදෙස් වාර්තා පැවසුවේ, ඉන්දීය ගුවන් හමුදා කඳවුර වෙත පැමිණි බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය කඩිනමින් ලන්ඩන් දක්වා නැවත පියාසර කිරීමට නියමිත බවයි.

බංග්ලාදේශ අග්‍රමාත්‍යවරිය නිල නිවසෙන් නික්මයෑමත් සමග නිල නිවස පරිශ්‍රය වෙත පැමිණි විරෝධතාකරුවන් එහි දේපළ විනාශ කරමින් ඒවා රැගෙන යන ආකාරයද එරට මාධ්‍ය වාර්තා කර තිබුණා.

විරෝධතාකරුවන් ෂෙයික් හසීනාගේ පියා වන බංග්ලාදේශයේ පළමු ජනාධිපතිවරයා ෂෙයික් මුජිබර් රහමාන්ගේ පිළිරුව ද විනාශ කළා.

මේවන විට බංග්ලාදේශයේ පාලනය පවතින්නේ හමුදා ප්‍රධානියාවන ජෙනරල් Waker-Uz-Zaman යටතේයි.

ඔහු අද (05) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළේ, බංග්ලාදේශයේ අන්තර්වාර රජයක් සම්බන්ධයෙන් විසඳුමක් අද (05) රාත්‍රියේ ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි.

මේ අතර හිටපු අගමැතිනි ෂීක් හසීනා ඉන්දියාවේ ත්‍රිපුර ප්‍රාන්තයේ අගර්තාලා නගරය වෙත පලාගොස් ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *