අතුරලියේ රතන හිමියන් ඇතුළු නියෝජිත පිරිසකගෙන් එක්සත් ජාතීන්ට විශේෂ ඉල්ලීමක්

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඇතුළු මහා සංඝරත්නය සහ හින්දු ආගමික නායකත්වයෙන් සැදුම්ලත් නියෝජිත පිරිසක් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලය වෙත විශේෂ ලිපියක් භාර දෙමින් කලාපීය සාමය ස්ථාපිත කිරීමට මැදිහත් වන ලෙස ඉල්ලා සිටියහ. දැනට ක්‍රියාත්මක වන යුදමය වාතාවරණය හේතුවෙන් අහිංසක මිනිස් ජීවිත විනාශ වීම සහ දහස් සංඛ්‍යාත පිරිසක් උන්හිටි තැන් අහිමිව අවතැන් වීම වළක්වා ගැනීම සඳහා ජාත්‍යන්තර සංවිධානයක සෘජු මැදිහත්වීම අත්‍යවශ්‍ය බව එම නියෝජිත පිරිස මෙහිදී අවධාරණය කළහ.​ලිපිය භාර දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පෙන්වා දුන්නේ, පසුගිය දශක දෙකහමාරක කාලය තුළ ලෝකවාසී කෝටි සංඛ්‍යාත ජනතාවක් යුද්ධයේ අමිහිරි අත්දැකීම් හේතුවෙන් අසරණ වී ඇති බවයි. යුද්ධයට විසඳුම් සෙවීමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය හුදු නිරීක්ෂකයෙකු නොවී, සාමය උදා කිරීමේ ක්‍රියාවලියට සෘජුව දායක වන පාර්ශවකරුවෙකු විය යුතු බව උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළහ. කලාපයේ ස්ථාවරත්වය වෙනුවෙන් මෙම ඉල්ලීම සිදු කළ බව උන්වහන්සේ සඳහන් කළහ.​මෙම අවස්ථාවට පූජ්‍ය කොටපළ අමරකීර්ති හිමියන් ඇතුළු මහා සංඝරත්නය මෙන්ම හින්දු ආගමික නායකයන් රැසක් ද එක්ව සිටියහ. මානුෂීය අර්බුද හමුවේ ආගමික නායකයන් ලෙස සිය වගකීම ඉටු කරමින්, ලෝක සාමය වෙනුවෙන් ඒකාබද්ධ හඬක් නැගීම මෙම පියවරේ අරමුණ බව මෙහිදී ප්‍රකාශ විය. විවිධ පාර්ශවයන් නියෝජනය කරමින් අදහස් දැක්වූ ආගමික නායකයෝ, පවතින ගැටුම්කාරී තත්ත්වයන් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් විසඳා ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය වහා බලපෑම් කළ යුතු බවට ද අදහස් පළ කළහ.

What's your reaction?

Related Posts

1 of 1,056

Leave A Reply

Your email address will not be published. Required fields are marked *