අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් සංස්කෘතියට තර්ජනයක් – මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගෙන් දැඩි විවේචනයක්!

රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් දෙමාපියන් සතු අයිතිවාසිකම් උදුරා ගන්නා බවත්, ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා ආගමික පදනම දුර්වල කරන බවත් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පවසති. හංවැල්ල සාන්ත ජෝසප් දේවස්ථානයේ පැවැති උත්සවයකදී අදහස් දක්වමින් උන්වහන්සේ අවධාරණය කළේ, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෑතකදී හඳුන්වා දුන් ලිංගික අධ්‍යාපන විෂය මාලාව හරහා විවාහය, පවුල් ජීවිතය සහ සදාචාරය පිළිබඳ සම්ප්‍රදායික ආකල්පවලට පටහැනි අදහස් ප්‍රවර්ධනය වන බවයි.​වයස අවුරුදු හයේ දරුවාගේ සිට වැඩිහිටියන් දක්වා විවිධ වැරදි හැසිරීම් සාමාන්‍ය දේවල් ලෙස ඉගැන්වීමට මෙමගින් උත්සාහ කරන බව පෙන්වා දුන් කාදිනල් හිමිපාණෝ, බටහිර රටවලින් ලැබෙන මුදල් හමුවේ දේශීය වටිනාකම් පාවා නොදිය යුතු බව ප්‍රකාශ කළහ. බුදුදහම, හින්දු දහම, ඉස්ලාම් දහම සහ කිතුනු දහම මත පදනම් වූ ශ්‍රී ලාංකීය සංස්කෘතිය විදේශීය බලපෑම් හමුවේ අතහැර දැමිය නොහැකි බවත්, රටේ සංස්කෘතික උරුමයන්ට හානි කිරීමට කිසිදු රජයකට අයිතියක් නොමැති බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.​එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර ආයතනවල බලපෑම මත ක්‍රියාත්මක වන වැඩසටහන් හරහා පවුල් සංස්ථාව විනාශ වෙමින් පවතින බවත්, දරුවන් දෙමාපියන්ට එරෙහි වන තත්ත්වයක් නිර්මාණය වන බවත් අගරදගුරුතුමෝ අනතුරු ඇඟවූහ. දරුවන්ට මානව හිමිකම් තිබිය යුතු වුවද, එය දරුවන් සහ දෙමාපියන් අතර ඇති ආදරණීය බැඳීම බිඳ දැමීමට යොදා නොගත යුතු බව උන්වහන්සේ අවධාරණය කර සිටියහ. රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හමුවේ මෙරට සංස්කෘතික අනන්‍යතාවය සහ සදාචාරාත්මක වටිනාකම් අවදානමට ලක්ව ඇති බවට ආගමික නායකයන්ගෙන් එල්ල වන විවේචන මෙම ප්‍රකාශයත් සමඟ යළිත් දැඩි වී තිබේ.

What's your reaction?

Related Posts

1 of 901

Leave A Reply

Your email address will not be published. Required fields are marked *