අධි ගංවතුර අවදානම් නිවේදනය: ප්‍රධාන ගංගා නිම්න කිහිපයකට අවදානම්

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ප්‍රධාන ගංඟා ද්‍රෝණි කිහිපයක ජල මට්ටම් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. විශේෂයෙන්ම, දැදුරුඔය ද්‍රෝණියේ පහළ නිම්නයේ පිහිටි වාරියපොල, නිකවැරටිය, මහව, බිංගිරිය, හලාවත ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පවතින ගංවතුර තත්ත්වය අධි ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ වැඩි අවදානමක් පවතී. එමෙන්ම, කුඹුක්කන්ඔය ද්‍රෝණියේ මොනරාගල සහ බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලට අයත් ග්‍රාම නිලධාරී කොට්ඨාශ කිහිපයකද අධි ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාව පිළිබඳව දෙපාර්තමේන්තුව ජනතාවට අනතුරු අඟවයි.​තවද, නිල්වලා ගඟේ පහළ ප්‍රදේශවලද ගංවතුර තත්ත්වය වර්ධනය වීමේ අවදානම පවතින අතර, කැලණි ගඟ ද්‍රෝණියේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් පහත් බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකිය. මහඔය ද්‍රෝණියේ අලව්ව, මීරිගම, මීගමුව, නාරම්මල ඇතුළු කොට්ඨාශවල සහ කලාඔය ද්‍රෝණියේ රාජංගනය, නොච්චියාගම ඇතුළු පහළ ප්‍රදේශවල ගංවතුර අවදානමක් පවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.​මහවැලි ගඟ ද්‍රෝණියේ යටිනුවර සහ ගගවටකෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් මහවැලි ගඟ ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවලට සහ මහනුවර – ගන්නෝරුව මාර්ගයටද ගංවතුර තත්ත්වයක් ඇති වීමේ හැකියාව පවතී. ඊට අමතරව, බදුලු ඔය ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවලටද ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.​මේ සියලු ජල ගැලීම් අවදානම් සහිත ප්‍රදේශවල පදිංචි ජනතාව දැඩි සැලකිල්ලකින් සහ අවධානයකින් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටී. මේ අතර, ඊයේ (26) රාත්‍රී අධික වර්ෂාව හේතුවෙන් නායයෑමට ලක්වූ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශය යළි දැනුම් දෙනතුරු තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසීය.

What's your reaction?

Related Posts

1 of 865

Leave A Reply

Your email address will not be published. Required fields are marked *