ඓතිහාසික අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී 59 වැනි වරටත් පවත්වනු ලබන ජාතික අලුත් සහල් මංගල්‍යය අද (09) අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රාජ්‍ය උත්සවය සඳහා අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කරවීමට නියමිතය. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා ඇතුළු මැති ඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වේ.ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවනු ලබන මෙම මහා පුණ්‍ය මංගල්‍යය සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම නියෝජනය කරමින් විශාල ගොවි ජනතාවක් එක්රැස්ව සිටිති. මෙරට කෘෂිකාර්මික සංස්කෘතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන මෙම උළෙලේදී, මෙවර මහ කන්නයේ අස්වැන්නෙන් ලබාගත් ප්‍රථම සහල් කොටස බුද්ධ පූජාව ලෙස පූජා කර සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ආගමික වතාවත් සිදු කිරීමට නියමිතය.මෙම ජාතික මෙහෙවර සාර්ථක කර ගැනීම සඳහා විවිධ රාජ්‍ය ආයතන සහ සංවිධාන රැසක් සහයෝගය ලබා දී ඇත. දේශයට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් සහ රට සහල්වලින් ස්වයංපෝෂිත කිරීමේ අරමුණ පෙරදැරිව සංවිධානය කර ඇති මෙම උත්සවය, ශ්‍රී ලාංකේය ගොවි ජනතාවගේ අනන්‍යතාවය ලොවට විදහා දක්වන වැදගත් සංස්කෘතික මංගල්‍යයක් ලෙස හඳුන්වා දිය හැකිය.






















