අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ‘හිමිකම’ සින්නක්කර ඔප්පු ප්‍රදානය හෙට අනුරාධපුරයෙන් ඇරඹෙයි!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ‘හිමිකම’ සින්නක්කර දීමනා පත්‍ර ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය හෙට (27) අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිතය. රජය මගින් ලබා දුන් බලපත්‍ර යටතේ ඉඩම් සංවර්ධනය කරමින් පරිභෝජනය කළ ජනතාවට, විශේෂයෙන්ම ගොවි ජනතාවට එම ඉඩම්වල පූර්ණ අයිතිය ලබාදීම මෙහි අරමුණ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. මෙම විශේෂ උත්සවය හෙට පස්වරු 2.00 ට අනුරාධපුර, කොරකහවැව පිහිටි උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.​1935 අංක 19 දරන ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ නිකුත් කරන ලද බලපත්‍ර සහ ප්‍රදාන මගින් ඉඩම් භුක්ති විඳින ගොවීන් ඇතුළු මහජනතාව, එම ඉඩම් සඳහා පූර්ණ අයිතියක් නොමැතිකම හේතුවෙන් විවිධ දුෂ්කරතාවලට මුහුණ දී සිටියහ. විශේෂයෙන්ම මානුෂීය සහ සංවර්ධන අවශ්‍යතා සඳහා මෙන්ම, ඉඩම ආර්ථික ඒකකයක් ලෙස දියුණු කිරීමට යාමේදී මෙම ගැටලු පැන නැගී තිබුණි. ඒ අනුව, ඉඩම් සංවර්ධන ආඥා පනතේ කොන්දේසි ඉවත් කර, 1947 අංක 8 දරන රජයේ ඉඩම් ආඥා පනතේ 2 වැනි වගන්තියට අනුකූලව මෙම සින්නක්කර ඔප්පු නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.​මෙම වැඩසටහන යටතේ රජය වෙත ස්වේච්ඡාවෙන් භාර දෙනු ලබන බලපත්‍ර සහ ප්‍රදාන වෙනුවට ‘හිමිකම’ සින්නක්කර ඔප්පු පිරිනැමේ. හෙට දින අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් 500 දෙනෙකු වෙත මෙම ඔප්පු පිරිනැමීමට නියමිත අතර, ඉදිරියේදී දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,028

Leave A Reply

Your email address will not be published. Required fields are marked *