අලි-දුම්රිය ගැටුම් අවසන් කරන්න තාප රූප කැමරා සවි කෙරේ!

​අලි-දුම්රිය ගැටුම් අවම කිරීමේ පියවරක් ලෙස තෝරාගත් දුම්රිය කිහිපයක තාප රූප කැමරා පද්ධති (Thermal camera systems) සවි කිරීමට පියවර ගෙන ඇත. පරිසර අමාත්‍යාංශයේ උපදේශක ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා සඳහන් කරන පරිදි, පරිසර අමාත්‍යාංශය සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය එක්ව මෙම ගැටලුවට ප්‍රායෝගික විසඳුම් කිහිපයක් ක්‍රියාත්මක කර ඇති අතර, එහි කොටසක් ලෙස දුම්රිය කාලසටහන් ද සංශෝධනය කර ඇත. පර්යේෂණාත්මක ව්‍යාපෘතියක් ලෙස ආතර් සී. ක්ලාක් ආයතනය හඳුන්වා දුන් මෙම කැමරා පද්ධති, අලි ඇතුන් නිරන්තරයෙන් ගැවසෙන දුම්රිය මාර්ගවල ධාවනය වන දුම්රිය කිහිපයක සවි කිරීම පසුගිය බදාදා (11) දෙමටගොඩ දුම්රිය අංගනයේදී සිදු කෙරිණි. ​මෙම පද්ධතියේ සඵලතාවය සතියක කාලයක් පුරා “පුලතිසි” දුම්රිය ආශ්‍රයෙන් පරීක්ෂා කිරීමට නියමිතය. එම පරීක්ෂණ චාරිකාවල ප්‍රතිඵල මත පදනම්ව කැමරා පද්ධතියේ ඉදිරි දියුණු කිරීම් පිළිබඳව තීරණ ගන්නා බව ආචාර්ය කාරියවසම් මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත. මීට අමතරව, උතුරු සහ මඩකලපුව දුම්රිය මාර්ගවල මෙන්ම වනාන්තර මැදින් දිවෙන මාර්ගවල රාත්‍රී කාලයේදී දුම්රිය ධාවනය කිරීමේදී දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස රියදුරන්ට උපදෙස් දී තිබේ. දුම්රිය කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමේ වැඩසටහන් මෙන්ම ස්වේච්ඡාවෙන් දායක වීමට කැමති පරිසර කණ්ඩායම් සම්බන්ධ කර ගැනීමට ද මෙහිදී පියවර ගෙන ඇත. තවද, අලි මාරුවන ස්ථාන පිළිබඳව රියදුරන්ට පූර්ව අනතුරු ඇඟවීම් ලබාදීම සඳහා දුම්රිය මාර්ග දෙපස පුවරු සවි කිරීම ද දැනටමත් සිදු කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,010

Leave A Reply

Your email address will not be published. Required fields are marked *