ආන්දෝලනාත්මක ඖෂධ ආනයනයකට තම නම ඈඳමින් අසත්‍ය ප්‍රචාර පතුරුවා මහජන නොසන්සුන්තාවක් ඇති කළ බවට චෝදනා කරමින්, සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් යූටියුබ් අන්තර්ගත නිර්මාණකරු ධර්මසිරි කාරියවසම් වෙත රුපියල් බිලියනයක වන්දි ඉල්ලා නීතිමය එන්තරවාසියක් යොමු කර තිබේ. ඉන්දියාවේ මාන් (Maan) ෆාමසියුටිකල් සමාගම නිෂ්පාදනය කළ ‘ඔන්ඩන්සෙට්‍රෝන්’ (Ondansetron) ඇතුළු එන්නත් වර්ග 10ක් සම්බන්ධයෙන් දැනටමත් පරීක්ෂණ ක්‍රියාත්මක වන අතර, සංකූලතා වාර්තා වීම නිසා ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් එම ඖෂධ භාවිතය මෑතකදී අත්හිටුවනු ලැබීය. කෙසේ වෙතත්, “මිනිස් ජීවිත බිලිගත් ඉන්දීය බෙහෙතේ යටගිය කතාව, නගරාධිපති බැල්තසාර්ගේ ඥාතියා සහ ඇමති නලින්දගේ වහං කිරීම” යන මැයෙන් වැඩසටහනක් පල කරමින්, අදාළ ඖෂධ ආනයනයට අමාත්‍යවරයා සෘජුවම සම්බන්ධ බවටත් සැපයුම්කරුවන් සමඟ එක්ව සත්‍ය වසන් කරන බවටත් කාරියවසම් මහතා චෝදනා කර ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.අමාත්‍යවරයාගේ නීතිඥවරයා අවධාරණය කරන්නේ මෙම ප්‍රකාශ අසත්‍ය සහ අපහාසාත්මක වන අතර, ඉන් අමාත්‍යවරයාගේ කීර්තිනාමයට දැඩි හානියක් සිදුව ඇති බවයි. විශේෂයෙන්ම සැබෑ ආනයනකරු වන ‘පී.ටී.සී. මෙඩිකල්ස්’ (PTC Medicals) සමාගම පිළිබඳ කරුණු වසන් කළ බවටත්, මරණ පිළිබඳ තැකීමක් නොකරන බවටත් එල්ල කළ චෝදනා නීතිඥවරයා ප්‍රතික්ෂේප කර ඇත. එමෙන්ම මෙම සමාගමේ අධ්‍යක්ෂවරුන් සහ කොළඹ නගරාධිපති ව්රායි කැලි බැල්තසාර්ගේ පවුලේ සාමාජිකයන් අතර දේශපාලන සබඳතා ඇති බවට කරන ලද ප්‍රකාශ ද මෙහිදී ප්‍රශ්න කර තිබේ. අදාළ අපහාසාත්මක අන්තර්ගතයන් ප්‍රචාරය කිරීම වහාම නතර නොකළහොත්, පූර්ව දැනුම්දීමකින් තොරව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව එම එන්තරවාසිය මගින් වැඩිදුරටත් අනතුරු අඟවා ඇත.


























