ආණ්ඩුවේ නාට්‍යවලින් ජනතාව මුළා කළ නොහැකියි: සර්ව ජන බලයෙන් පාලකයින්ට දැඩි විවේචනයක්

වර්තමාන පාලකයින් රටේ සැබෑ ප්‍රශ්න විසඳනවා වෙනුවට ජාතිය ඇමතීම් සහ සමාජ මාධ්‍ය සංදර්ශන හරහා වැරදි වසා ගැනීමට උත්සාහ කරන බව සර්ව ජන බලය පක්ෂයේ මහ ලේකම් රංජන් සෙනෙවිරත්න මහතා පවසයි. ගල් අඟුරු වංචාව පිළිබඳ එල්ල වන චෝදනා හමුවේ විෂයභාර අමාත්‍යවරයා ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කිරීම හාස්‍යයට කරුණක් බවත්, වගකිවයුතු අමාත්‍යවරුන් ටික්ටොක් නළු නිළියන් මෙන් හැසිරෙමින් මහජන මුදල් අවභාවිතය සුළු කොට තකන බවත් ඔහු පෙන්වා දුන්නේය. ස්වාධීන පොලිස් පරීක්ෂණයක් පවතින්නේ නම්, වසර පහක් පුරා ඉන්ධන ගබඩා කරගෙන සිටින බව කියන දේශපාලන හිතවතුන් පිළිබඳව වහාම පරීක්ෂණ පැවැත්විය යුතු බව හෙතෙම අවධාරණය කළේය.​රටේ ආර්ථිකය කඩා වැටීමට වත්මන් පාලකයින් සෘජුවම වගකිව යුතු බවත්, බලය රැක ගැනීමට හා පක්ෂ අරමුදල් තර කර ගැනීමට ඔවුන් ජනතාව බිල්ලට දී ඇති බවත් මෙහිදී අනාවරණය විය. මාලිමාවේ “සුදු බැටළු හම” ගැලවී ගොස් සැබෑ ජේවීපී මුහුණුවර දැන් ප්‍රදර්ශනය වෙමින් පවතින බව පවසන සර්ව ජන බලය නියෝජිතයින්, පාර්ලිමේන්තුව යනු සැබෑ ප්‍රශ්න කතා කරන තැනක් නොව “නයි අරින” සංදර්ශන වේදිකාවක් බවට පත්ව ඇති බවට චෝදනා කළහ. අධිකරණයෙන් වරදකරු වන තෙක් කිසිවෙකු හොරෙකු ලෙස නොපිළිගන්නා බවට අගමැතිනිය කරන ප්‍රකාශ හරහා ආණ්ඩුවේ නොහැකියාව සහ දූෂිතයන් ආරක්ෂා කිරීමේ උත්සාහය මනාව පැහැදිලි වන බවද ඔවුහු පෙන්වා දුන්හ.​රටේ ඉදිරියේදී ඇතිවිය හැකි විදුලි කප්පාදුව සහ ආර්ථික පීඩනය හමුවේ රජය විධිමත් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනවා වෙනුවට ජනතාව කුපිත කරවන ප්‍රකාශ සිදු කරමින් සිටින බව සර්ව ජන බලය මාධ්‍ය ප්‍රකාශක ප්‍රියංකර මහගම්මුල්ලගේ මහතා සඳහන් කළේය. රිලා සංගණන වැනි අනවශ්‍ය දෑ සඳහා කාලය හා මුදල් වැය කරනවා වෙනුවට, රටේ කඩා වැටෙන ආර්ථිකය ගොඩනැගීමට පාලකයින් මැදිහත් විය යුතුය. ආණ්ඩුව විසින් ගනු ලබන වැරදි තීන්දු හේතුවෙන් ජනතාව දැඩි අසීරුතාවයට පත්ව ඇති බවත්, මෙම පාලන තන්ත්‍රය ජනතාවට සහන සැලසීමට වඩා තම දේශපාලන පැවැත්ම වෙනුවෙන් පෙනී සිටින බවත් මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.

What's your reaction?

Related Posts

1 of 1,058

Leave A Reply

Your email address will not be published. Required fields are marked *