ආණ්ඩුවේ ‘බාල ගල්අඟුරු’ පාඩුව පියවන්න ජනතාවගේ තෙල් මිල වැඩි කළාද? සර්වජන බලයෙන් දැඩි ප්‍රශ්නයක්

පවතින බලශක්ති අර්බුදය හමුවේ රජය අනුගමනය කරන අත්තනෝමතික ක්‍රියාමාර්ග දැඩි විවේචනයට ලක් කරමින් සර්වජන බලය පක්ෂය අද (27) කොළඹදී මාධ්‍ය හමුවක් පැවැත්වීය. එහිදී අදහස් දැක්වූ කටාන සංවිධායක රජිත හපුවාරච්චි මහතා සඳහන් කළේ, බාල ගල්අඟුරු ගෙන්වීම නිසා සිදුවූ පාඩුව වසා ගැනීමට රජය විසින් ඉන්ධන මිල ඉහළ දමමින් ජනතාව මත බර පටවා ඇති බවයි. ප්‍රමාණවත් තෙල් සංචිත පවතින බව පවසමින් බලයට පත් වූ රජය, දැන් යුදමය තත්ත්වයන් පෙන්වමින් ජනතාව මුළා කරන බවත්, ගල්අඟුරු බලාගාර සඳහා අධික ලෙස ඩීසල් භාවිත කිරීමට සිදුවීම මෙම මිල ඉහළ යාමට සෘජුවම බලපා ඇති බවත් ඔහු මෙහිදී අනාවරණය කළේය.​බලශක්ති අර්බුදයට අමතරව රාජ්‍ය පරිපාලන පද්ධතියේ බිඳ වැටීම පිළිබඳව ද මෙහිදී කරුණු ඉදිරිපත් කෙරිණි. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කටයුතු අඩපණ වීම හේතුවෙන් ජනතාවට අනන්‍යතා පත්‍ර පවා නිකුත් කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව සර්වජන බලය මාධ්‍ය ප්‍රකාශක ප්‍රියංකර මහාගම්මුල්ල මහතා පැවසීය. ටෙන්ඩර් පටිපාටිවල පවතින අක්‍රමිකතා සහ දත්ත කළමනාකරණයේ පවතින දුර්වලතා හේතුවෙන් සමස්ත පද්ධතියම අවුල් ජාලාවක් බවට පත්ව ඇති බවත්, එක් වංචාවක් වැසීමට තවත් වංචාවක් සිදු කරන පටිපාටියක් රජය තුළ ක්‍රියාත්මක වන බවත් ඔහු වැඩිදුරටත් චෝදනා කළේය.​එසේම, රජයේ මැති ඇමතිවරුන් ජනතාවට අරපිරිමැස්ම ගැන උපදෙස් දෙමින් පවත්වන ‘සංදර්ශන’ පිළිබඳව ද මෙහිදී දැඩි විවේචන එල්ල විය. ජයවර්ධනපුර රෝහලේ උපකරණ පරිත්‍යාග කිරීම් වැනි සිදුවීම් ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීම සහ ඇඳුම් සේදීම වැනි පෞද්ගලික කරුණු සම්බන්ධයෙන් අමාත්‍යවරුන් සිදුකරන ප්‍රකාශ හාස්‍යජනක බව සර්වජන බලය පක්ෂය පෙන්වා දෙයි. පාලකයන් විසින් ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු කරනු වෙනුවට මෙවැනි හිඟන මානසිකත්වයකින් යුත් ප්‍රකාශ හරහා රට පාලනය කිරීමට උත්සාහ කිරීම කණගාටුවට කරුණක් බවත් මෙහිදී අවධාරණය කෙරිණි.

What's your reaction?

Related Posts

1 of 1,068

Leave A Reply

Your email address will not be published. Required fields are marked *