​“ආණ්ඩුව අසමත්; දැන්වත් තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගන්න” – සර්වජන බලයෙන් රටට අනතුරු ඇඟවීමක්

​ගෝලීය දේශපාලනික අස්ථාවරත්වය සහ මැදපෙරදිග යුද ගැටුම් හමුවේ ශ්‍රී ලංකාව දැඩි අවදානමකට ලක්ව ඇති බව සර්වජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි. කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ, පවතින බලශක්ති සහ ආර්ථික අර්බුද කළමනාකරණය කිරීමට රජයට නිසි උපායමාර්ගික සැලැස්මක් නොමැති බවයි. රජය ජනතාවට සත්‍ය වසන් කරමින් සිටින බැවින්, ඉදිරියේදී ඇතිවිය හැකි විදුලි කප්පාදුව වැනි දුෂ්කරතාවලට මුහුණ දීමට සහ නොමැරී ජීවත් වීමට ජනතාවට දැන්ම සිටම ස්වයංව සූදානම් වන ලෙස ඔහු මෙහිදී ඉල්ලීමක් කළේය.​ආණ්ඩුවේ ඇමතිවරුන් පරස්පර ප්‍රකාශ නිකුත් කරමින් ජනතාව තවදුරටත් නොමඟ යවන බවත්, බලශක්ති අර්බුදය හුදෙක් යුද්ධය පිට පැටවිය නොහැකි බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම ගල් අඟුරු ගනුදෙනු හා බැඳුණු වංචනික ක්‍රියාවන් නිසා රට තවදුරටත් අගාධයට ඇද දමා ඇති බවත්, විදේශීය යුද නෞකා සම්බන්ධ ගනුදෙනුවලදී රජය විනිවිදභාවයකින් තොරව කටයුතු කරන බවත් ඔහු චෝදනා කළේය. පවතින ගැටලු විසඳීමට සර්ව පාක්ෂික සහයෝගය ලබාගැනීමට රජය අපොහොසත් වී ඇති බවත්, මෙය දර්ශනයක් හෝ වැඩපිළිවෙලක් නොමැති ‘රූකඩ පාලනයක්’ බවත් දිලිත් ජයවීර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.​මෙම මාධ්‍ය හමුවට එක්වූ සර්වජන බලය පක්ෂයේ උප සභාපති ගාමිණී බලේගොඩ සහ මහ ලේකම් නීතිඥ රංජන් සෙනවිරත්න යන මහත්වරුන්ද රජයේ ක්‍රියාකලාපය විවේචනය කළහ. රටේ විදේශ සංචිත සීඝ්‍රයෙන් පහත වැටීම සහ ඉන්ධන මිල සම්බන්ධයෙන් රජය සිදුකරන ‘කූට වෙළඳාම’ හේතුවෙන් ඉදිරි කාලය ඉතා අභියෝගාත්මක වනු ඇති බව ඔවුහු අනාවැකි පළ කළහ. ජනතාව බිය වැද්දීමට නොව, ඔවුන්ව සත්‍ය තත්ත්වයට සූදානම් කිරීම විපක්ෂයේ වගකීමක් බවත්, වගකීම් විරහිත පාලනයක් හමුවේ රටේ ස්වෛරීභාවය පවා අවදානමකට ලක්ව ඇති බවත් මෙහිදී අවධාරණය කෙරිණි.

What's your reaction?

Related Posts

1 of 1,062

Leave A Reply

Your email address will not be published. Required fields are marked *