සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා වත්මන් පාලනය දැඩි දෝෂදර්ශනයට ලක් කරමින් කියා සිටියේ, ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ රජය බලයට පත්වීමට පෙර ප්‍රකාශ කළ කිසිදු පොරොන්දුවක් ඉටු නොකරන බවයි. නොකරන බවට පැවසූ දේවල් මේ වන විට රජය විසින් සිදු කරමින් සිටින බවත්, ජනතාවට ලබා දුන් සහන සම්බන්ධ පොරොන්දු සියල්ල අමතක කර දමා ඇති බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.විශේෂයෙන්ම ජාත්‍යන්තර සබඳතා කළමනාකරණය කර ගැනීමට රජය අසමත්ව ඇති බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, රාජ්‍ය නායකයින් ජාත්‍යන්තර රැස්වීම්වලට සහභාගී වී විහිළු සපයන බවට චෝදනා කළේය. ලෝක වෙළඳපොළේ පවතින යුදමය වාතාවරණය පෙන්වමින් රජය තමන්ගේ අසාර්ථකත්වය සහ ගල් අඟුරු වංචා වැනි දූෂණ වසා ගැනීමට උත්සාහ කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.කාන්තා දිනය සැමරූ පමණින් කාන්තාවන්ගේ ප්‍රශ්න විසඳෙන්නේ නැති බවත්, ඔවුන්ට ලබා දුන් පොරොන්දු ඉටු නොකිරීම නිසා මෙරට කාන්තාවන් දැඩි ලෙස අසරණ වී ඇති බවත් මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ජනතාව මුලාවට පත් නොකර වහාම ලබා දුන් පොරොන්දු ඉටු කරන ලෙස ඔහු රජයට බල කර සිටියේය.ගෝලීය වශයෙන් ඉන්ධන මිල ඉහළ යෑම සහ මැදපෙරදිග රැකියා අහිමි වීම වැනි අර්බුද හමුවේ මෙරට ආර්ථිකය තවදුරටත් අනතුරට ලක්ව ඇති බව ඔහු සඳහන් කළේය. විදේශ ප්‍රේෂණ අඩු වීම සහ ඉන්ධන සඳහා වැය වන ඩොලර් ප්‍රමාණය ඉහළ යෑම හමුවේ රටේ ආර්ථිකය දැනටමත් විනාශ වී ඇති බවත්, මෙවැනි තීරණාත්මක තත්ත්වයකට මුහුණ දීමට ආණ්ඩුවට නිසි වැඩපිළිවෙළක් නොමැති බවත් ඔහු චෝදනා කළේය.සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දැනටමත් ආර්ථිකය දරාගත නොහැකිව පීඩා විඳින පසුබිමක, ජාත්‍යන්තරය සමඟ නිසි ලෙස සාකච්ඡා කර ඉන්ධන සහ අනෙකුත් සහන ලබා ගැනීමට ආණ්ඩුව අපොහොසත් වී තිබේ. කිසිදු සැලසුමකින් තොරව බලා සිටිනවා වෙනුවට ජාත්‍යන්තර සබඳතා මගින් රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට වහා පියවර ගත යුතු බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

























