2009 අංක 35 දරන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී පනත අහෝසි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. රජය සඳහන් කරන පරිදි, මෙම තීරණය ගනු ලැබුවේ 2025 පෙබරවාරි 24 වැනි දින පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදීය. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර නීතිපතිවරයාගේ අනුමැතිය ලත් අදාළ පනත අහෝසි කිරීමේ කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ ඒකමතික එකඟතාව හිමිවිය. අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ රජයේ ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ, යුද්ධය අවසන් වූ වහාම 2009 වසරේදී මෙම ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර නිර්මාණය කළ බවයි. වර්තමාන තත්ත්වය යටතේ මෙම තනතුර තවදුරටත් අත්‍යවශ්‍ය නොවන බව රජයේ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ස්ථාවරය බවත්, ඒ අනුව අදාළ පනත අහෝසි කිරීමේ කෙටුම්පත සකස් කිරීමට පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


























