ශ්‍රී ලංකාවේ කිසිදු දරුවෙකුට ආර්ථික දුෂ්කරතා හේතුවෙන් වෘත්තීය හෝ උසස් අධ්‍යාපන අවස්ථා අහිමි නොවන බව සහතික වන අයුරින් රජයේ සියලුම උපායමාර්ගික සැලසුම් සකස් කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කරයි. වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ ආයතන නවයක ප්‍රධානීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැති වැඩමුළුවකදී ඇය මේ බව ප්‍රකාශ කළාය. එහිදී අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ සියලුම සංවර්ධන සැලසුම් ජාතික ආර්ථික සංවර්ධන සැලැස්ම සමඟ බද්ධ විය යුතු බවත්, වෘත්තීය ආයතන හුදෙක් දක්ෂ වෘත්තිකයන් බිහි කරනවාට වඩා දයාව, සහකම්පනය සහ සදාචාරාත්මක වටිනාකම්වලින් පිරිපුන් “මානුෂීය වෘත්තිකයන්” නිර්මාණය කිරීමට ප්‍රමුඛතාව දිය යුතු බවත්ය.කෘතිම බුද්ධිය (AI) මගින් ලෝකයේ රැකියා වෙළඳපොළ වෙනස් වෙමින් පවතින මොහොතක, මෙරට වෘත්තීය අධ්‍යාපනය ප්‍රධාන ධාරාවේ අධ්‍යාපන පද්ධතියට ඒකාබද්ධ කිරීම හදිසි අවශ්‍යතාවක් බව ද ඇය මෙහිදී පැහැදිලි කළාය. තාක්ෂණික දියුණුව හමුවේ වුවද, ළමා රැකවරණය සහ සාත්තු සේවා වැනි මානුෂීය හැඟීම් සහ මෘදු කුසලතා (Soft Skills) අවශ්‍ය ක්ෂේත්‍රවල වැදගත්කම කිසිසේත් අඩු නොවන බව ඇය පෙන්වා දුන්නාය. එසේම, වෘත්තීය අධ්‍යාපනය හදාරන දරුවන්ට රැකියාවක නිරත වෙමින්ම ආචාර්ය උපාධිය දක්වා ඉහළට යාමට හැකි නම්‍යශීලී අධ්‍යාපන මාර්ග සකස් කිරීමේ අවශ්‍යතාවත්, එම ක්‍රියාවලියේදී අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය ඉහළින්ම පවත්වා ගැනීමත් රජයේ ප්‍රධාන අරමුණක් බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.


























