ආසියානු සංවර්ධන බැංකු සභාපති නිල සංචාරයක් සඳහා දිවයිනට

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසත්සුගු අසකාවා (Masatsugu Asakawa) මහතා නිල සංචාරයක් සඳහා අද (23) පෙරවරුවේ දිවයිනට පැමිණියේය. ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයට මුහුණ දීමේ සිට යථා තත්ත්වයට පත්වීම සහ තිරසාර ආර්ථික වර්ධනයක් කරා ගමන් කරන මෙම “තීරණාත්මක මොහොතේ” තමන් මෙරටට පැමිණි බව ඔහු ප්‍රකාශ කළේය. කටුනායක ගුවන් තොටුපළේදී කම්කරු අමාත්‍ය සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විසින් තමන්ව උණුසුම් අයුරින් පිළිගත් බව අසකාවා මහතා සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.​මෙම සංචාරය හරහා රජයේ නියෝජිතයින්, පෞද්ගලික අංශය සහ ප්‍රාදේශීය ප්‍රජාවන් සමඟ සාකච්ඡා කර මෙරට සංවර්ධනයේ මීළඟ අදියර සඳහා වන ප්‍රමුඛතාවන් හඳුනා ගැනීමට අවස්ථාව ලැබෙන බව ඔහු අවධාරණය කළේය. යටිතල පහසුකම් සහ සම්බන්ධතාවන් ශක්තිමත් කරමින් පෞද්ගලික අංශය මූලික කරගත් වර්ධනයක් සඳහා ආයෝජන දිරිමත් කිරීමට ආසියානු සංවර්ධන බැංකුව අඛණ්ඩව සහාය දක්වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය. ඉදිරි දින කිහිපය තුළ අදාළ පාර්ශවකරුවන් සමඟ සමීපව කටයුතු කරමින් මෙම ඉලක්ක සපුරා ගැනීමට තමන් අපේක්ෂා කරන බවද සභාපතිවරයා ප්‍රකාශ කළේය.

What's your reaction?

Related Posts

1 of 1,061

Leave A Reply

Your email address will not be published. Required fields are marked *