වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ ආහාර ආනයනකරුවන්ගේ සංගමය අතර අද දින වෙළඳ අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණු අතර, එහිදී තීරණය වූයේ උත්සව සමයේදී කිසිදු ආහාර හිඟයකට ඉඩ නොතබන බවයි. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් නැව් ගාස්තු සහ රක්ෂණ ගාස්තු යම් ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවත්, එමඟින් භාණ්ඩ මිලෙහි සුළු වෙනසක් සිදුවිය හැකි වුවද එය ජනතාවට දැඩි පීඩනයක් නොවන මට්ටමක පවතිනු ඇති බවත් මෙහිදී අවධාරණය කෙරිණි. එබැවින් අනවශ්‍ය ලෙස ආහාර තොග රැස් කිරීමට උත්සාහ කරමින් කලබල නොවන ලෙස රජය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියි.ඉරානයෙන් මෙරටට ප්‍රධාන වශයෙන් ආනයනය කරන ලද හාල්මැස්සන් සැපයුමට පවතින බාධා හමුවේ, විකල්ප පියවරක් ලෙස තායිලන්තයෙන් එම අවශ්‍යතාව සපුරා ගැනීමට රජය දැනටමත් කටයුතු කර ඇත. සැපයුම් දාමයේ කිසිදු බිඳ වැටීමක් මේ දක්වා වාර්තා වී නොමැති අතර, ආනයනකරුවන්ට මුහුණ දීමට සිදුව ඇති ඉන්ධන ගැටලු ඇතුළු අනෙකුත් ප්‍රායෝගික දුෂ්කරතා සඳහා කඩිනම් විසඳුම් ලබාදීමටද අමාත්‍යවරයා මෙහිදී එකඟතාව පළ කළේය.මෙරට ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඉදිරි මාස හතර සඳහා ප්‍රමාණවත් සහල් තොග දැනටමත් රජය සතුව පවතින බවයි. මේ සම්බන්ධයෙන් තවදුරටත් ගැඹුරින් සාකච්ඡා කර තීන්දු තීරණ ගැනීම සඳහා හෙට දිනයේදී ‘ආහාර සුරක්ෂිතතා කමිටුව’ රැස්වීමට නියමිතව ඇත. උත්සව සමය තුළ ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම වෙනුවෙන් රජය උපරිම මැදිහත්වීම සිදු කරන බව මෙහිදී සහතික විය.ආහාර ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් නිහාල් සෙනවිරත්න සහ සභාපති එස්. විනයාගසුන්දරම් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්වෙමින් පවතින තත්ත්වය පිළිබඳව සිය අදහස් පළ කළහ. ජාත්‍යන්තර තත්ත්වයන් මත භාණ්ඩ ගෙන්වීමේදී යම් යම් අභියෝග මතු වුවද, රජය සමඟ එක්ව වෙළඳපොළ සැපයුම ක්‍රමවත්ව පවත්වාගෙන යාමට තමන් සූදානම් බව ඔවුහු ප්‍රකාශ කළහ. රජයේ සහ පෞද්ගලික අංශයේ මෙම ඒකාබද්ධ මැදිහත්වීම තුළින් පාරිභෝගිකයාට උපරිම සාධාරණයක් ඉටු කිරීමට අපේක්ෂිතය.
























