ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව දියත් කර ඇති යුදමය ක්‍රියාමාර්ග දැඩි ලෙස හෙළා දකිමින් ජන අරගල සන්ධානය අද (05) නුගේගොඩදී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීය. එහිදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව මහතා අවධාරණය කළේ, මෙම ප්‍රහාර මාලාව හරහා ඉරාන ජනතාවගේ ස්වෛරීභාවය සහ ප්රජාතන්ත්රවාදී අයිතීන් බරපතළ ලෙස උල්ලංඝනය වන බවයි.මෙම යුද්ධය හුදෙක් ආගමික මුහුණුවරක් ගත්තද, එහි යටිපෙළ පවතින්නේ ගෝලීය ආර්ථික හා දේශපාලනික බල අරගලයක් බව ඔහු පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම ඉදිරි වසර කිහිපය තුළ ලෝක ආර්ථික බලවතා වීමට නියමිත චීනයේ නැගීම පාලනය කිරීමටත්, මැදපෙරදිග කලාපයේ භූ දේශපාලනික බලය අත්පත් කර ගැනීමටත් ඇමරිකාව උත්සාහ කරමින් සිටින බව ඔහු සඳහන් කළේය.ලොව දෙවැනි විශාලතම ගෑස් නිධි සහ දැවැන්ත තෙල් සම්පතක් සහිත ඉරානයේ බලය තමන් සතු කර ගැනීම ඇමරිකාවේ මූලික අරමුණ වී ඇත. මෙම යුද්ධය සඳහා ඇමරිකානු කොංග්‍රසයේ නිල අනුමැතිය පවා ලැබී නොමැති පසුබිමක, සිදුකරන මෙලෙච්ඡ ප්‍රහාර හමුවේ මේ වන විටත් දහසකට අධික සිවිල් වැසියන් පිරිසක් මියගොස් ඇති බවද නාගමුව මහතා අනාවරණය කළේය.මෙහි වඩාත්ම කණගාටුදායක තත්ත්වය වන්නේ බාලිකා පාසලකට එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් සිසුවියන් 140ක් පමණ ඝාතනය වීමයි. මානව හිමිකම් ගැන ලොවට පම්පෝරි ගසන ඇමරිකාව මෙවැනි මනුෂ්‍යත්වයට නිද්‍රාශීලී අපරාධ සිදු කිරීම පිළිකුල් සහගත බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.ලංකාවට ආසන්න මුහුදු කලාපයේදී ඉරාන යුද නෞකාවකට ඇමරිකානු හමුදාව ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු විය. එම ප්‍රහාරය එල්ල කළ ඇමරිකානු සබ්මැරීනය මෙරට මුහුදු සීමාවට බලහත්කාරයෙන් ඇතුළු වූයේද යන සැකය පවතින බැවින්, ඒ පිළිබඳව රජය වහාම කරුණු හෙළිදරව් කළ යුතු බව ජන අරගල සන්ධානය බලකර සිටියි.මෙරට පැවති සහ පවතින රජයන් ඇමරිකාව සමඟ අත්සන් කර ඇති ACSA සහ SPP වැනි ආරක්ෂක ගිවිසුම් හරහා ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය පාවා දී ඇති බව නාගමුව මහතා පෙන්වා දෙයි. මෙම ගිවිසුම් ප්‍රකාරව ඇමරිකාව සම්බන්ධ වන ඕනෑම යුද්ධයකදී ලංකාවේ යටිතල පහසුකම් සහ රෝහල් පහසුකම් ඔවුන්ට ලබා දීමට අප බැඳී සිටීම අතිශය භයානක තත්ත්වයක් බව ඔහු පැවසීය.ලක් රජය අනුගමනය කරන ද්විත්ව පිළිවෙතද මෙහිදී විවේචනයට ලක් විය. ඉරානයට එල්ල වූ ප්‍රහාර හමුවේ නිහඬව සිටි රජය, ඉරානය විසින් සෞදියේ පිහිටි ඇමරිකානු කඳවුරුවලට ප්‍රතිප්‍රහාර එල්ල කළ විට පමණක් කණගාටුව පළ කිරීම තුළින් ඔවුන් ඇමරිකාවට කොතරම් හීලෑ වී ඇත්දැයි මනාව පැහැදිලි වන බව ඔහු චෝදනා කළේය.ගෝලීය බලවතුන් අතර පවතින මෙම ගැටුම හමුවේ ශ්‍රී ලංකාව කිසිදු පාර්ශ්වයකට ගැති නොවී සැබෑ “නොබැඳි පිළිවෙතක්” අනුගමනය කළ යුතුය. කිසියම් කඳවුරකට පමණක් පක්ෂපාතී වීමෙන් අනාගතයේදී අනෙක් පාර්ශ්වයේ ප්‍රහාරවලට ලක්වීමේ අවදානමක් පවතින බවත්, එබැවින් රටේ ආරක්ෂාව වෙනුවෙන් බුද්ධිමත් මැදිහත්වීමක් අවශ්‍ය බවත් ඔහු සඳහන් කළේය.අවසාන වශයෙන්, අධිරාජ්‍යවාදී බලපෑම්වලට මෙන්ම ඉරානයේ පවතින ආගමික අන්තවාදයටද තමන් විරුද්ධ බව ජන අරගල සන්ධානය ප්‍රකාශ කළේය. ඉරාන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමින් ජනතා සහයෝගිතා ව්‍යාපාරයක් ගොඩනැගීමට එක්වන ලෙස ලෝකවාසී වැඩකරන ජනතාවගෙන් ඔවුන් ඉල්ලීමක් කළහ.

























