ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හට තම මෙරට රියදුරු බලපත්‍ර, ඉතාලි රියදුරු බලපත්‍ර බවට පරිවර්තනය කරගැනීමට අවස්ථාව සලසමින් දෙරට අතර අත්සන් කරන ලද ද්විපාර්ශ්වික ගිවිසුම, එළඹෙන 2026 අප්‍රේල් 10 වැනි සිකුරාදා දින සිට නිල වශයෙන් ක්‍රියාත්මක වන බව රෝමයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරයි. මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අභ්‍යන්තර විධිවිධාන ශ්‍රී ලංකා රජය විසින් පසුගිය පෙබරවාරි 09 වන දින සම්පූර්ණ කර ඇති අතර, ඒ අනුව නියමිත දින සිට තානාපති කාර්යාලය මගින් අයදුම්පත් භාර ගැනීම ආරම්භ කෙරේ. මහජනතාවගේ පහසුව වෙනුවෙන් තානාපති කාර්යාලයේ විශේෂ කවුන්ටරයක් විවෘතව පවතින අතර, සෑම බ්‍රහස්පතින්දා දිනකම පැමිණෙන අයදුම්කරුවන්ට ප්‍රමුඛතාවය ලබා දීමට කටයුතු යොදා ඇත.මෙම ගිවිසුම යටතේ රියදුරු බලපත්‍ර මාරු කිරීම සඳහා සුදුසුකම් ලැබීමට නම්, අදාළ පුද්ගලයා ඉතාලියේ නීත්‍යානුකූල පදිංචිය ලබා ගත් කාලය වසර හයකට (06) වඩා අඩු විය යුතුය. එනම්, 2026 අප්‍රේල් 10 වන දිනට ඉතාලියේ වසර 06කට වඩා වැඩි කාලයක් පදිංචිව සිටින පුද්ගලයින්ට මෙම සහනය හිමි නොවන බව අවධාරණය කෙරේ. අයදුම්කරුවන් පෞද්ගලිකවම තානාපති කාර්යාලය වෙත පැමිණිය යුතු අතර, ඒ සඳහා යුරෝ 105 ක ගාස්තුවක් අය කෙරේ. අයදුම් කිරීමේදී වලංගු විදේශ ගමන් බලපත්‍රය, මුල් ශ්‍රී ලංකා රියදුරු බලපත්‍රය සහ ඉතාලි පදිංචි බලපත්‍රය (Permesso di Soggiorno) සමග එහි පිටපත් ඉදිරිපත් කළ යුතු බවත්, වැඩිදුර විස්තර නිල නිවේදනය මගින් ලබා ගත හැකි බවත් තානාපති කාර්යාලය වැඩිදුරටත් දන්වා සිටියි.


























