මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ දේශීය ආහාර බෙදාහැරීමේ ක්‍රියාවලිය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා රජය සුවිශේෂී පියවරක් ගෙන තිබේ. ඒ අනුව, ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයේ නියැලී සිටින සේවා සපයන්නන්ගේ නිශ්චිත ඉන්ධන අවශ්‍යතා හඳුනා ගැනීම සඳහා වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය මගින් දත්ත රැස් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත. නිවැරදි දත්ත මත පදනම්ව ඉන්ධන කෝටාවන් සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සහ ක්ෂේත්රයේ සැලසුම්කරණය ශක්තිමත් කිරීම මෙහි මූලික අරමුණයි.මෙම දත්ත රැස් කිරීමේ ක්‍රියාවලිය විශේෂයෙන්ම ඉලක්ක කර ඇත්තේ මෙතෙක් කිසිදු රජයේ නිල දත්ත පද්ධතියක ලියාපදිංචි වී නොමැති ප්‍රවාහන සේවා සපයන්නන් සඳහාය. දැනටමත් ලියාපදිංචි වී ඇති ආයතන හෝ පුද්ගලයන් පවතින නිල සන්නිවේදන මාර්ග ඔස්සේ තොරතුරු ලබා දිය යුතු අතර, අනෙක් අයට අදාළ “Google Form” සබැඳිය (Link) හරහා ස්වේච්ඡාවෙන් දත්ත ඉදිරිපත් කළ හැකිය. මෙලෙස රැස්කරන තොරතුරු විධිමත් විශ්ලේෂණයකට ලක් කිරීමෙන් අනතුරුව, එම නිර්දේශ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඉදිරිපත් කිරීමට නියමිතය.
























