පවතින ලෝක දේශපාලනික තත්ත්වයන් පෙන්වමින් රජය විසින් සිදුකළ ඉන්ධන මිල සංශෝධනය දැඩි විවේචනයට ලක් කරමින් සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ ආනන්ද පාලිත මහතා අදහස් දැක්වීය. මෙවර රුපියල් 81 කින් මිල ඉහළ දැමීම පිටුපස රුපියල් 20 ත් 30 ත් අතර රජයේ බදු මුදලක් අන්තර්ගතව ඇති බව පෙන්වා දෙන ඒ මහතා, ලෝක වෙළඳපොළේ මිල ඉහළ යන සෑම අවස්ථාවකම රජය අමතර බදු පටවමින් ජනතාව පීඩාවට පත් කරන බව අවධාරණය කළේය. මිල පාලනය සඳහා ස්වාධීන කොමිසමක් පත් නොකිරීම හරහා මෙවැනි අසාධාරණ මිල තීරණ ගැනීමට රජයට ඉඩ සැලසී ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.මැදපෙරදිග අර්බුද පෙන්වමින් ඉන්ධන මිල ඉහළ දැමුවද, දැනට පවතින තොග පවා වැඩි මිලට අලෙවි කරමින් රජය ලාභ උපයන බවට හෙතෙම චෝදනා කළේය. විශේෂයෙන්ම සයිනොපෙක් වැනි පෞද්ගලික සමාගම් රජයේ මිලට වඩා ඉහළින් ඉන්ධන අලෙවි කිරීම ගැටළු සහගත බවත්, අනෙකුත් බෙදාහැරීමේ සමාගම්වලට හිතුමතේ මිල වැඩි කිරීමට ඉඩ දීම රජයේ වගකීම් පැහැර හැරීමක් බවත් ඔහු පෙන්වා දුන්නේය. බලශක්ති අර්බුදයට විසඳුම් දෙන බව පවසා බලයට පත් වූවන් දැන් ක්‍රියා කරන්නේ ජනතාව පිට බදු බර පටවන “ගසාකෑමේ සූත්‍රයක්” අනුව බව ඔහු පවසයි.මෙම අසාධාරණ මිල වැඩිකිරීම හමුවේ වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මත පනවා ඇති අමතර බදු ඉවත් කර ජනතාවට සහන සැලසිය යුතු බව ආනන්ද පාලිත මහතා රජයෙන් ඉල්ලා සිටියි. අනෙකුත් සමාගම් වැඩිකර ඇති මිල වහාම අඩු කිරීමට මැදිහත් වන ලෙස බල කරන ඒ මහතා, ආණ්ඩුවේ මෙම වැඩපිළිවෙළ උපහාසයට ලක් කරමින් “බයිලා” ගායනයක් මගින් සිය විරෝධය පළ කිරීමට ද කටයුතු කළේය. පවතින තත්ත්වය හමුවේ සාමාන්‍ය ජනතාවට සහන සැලසීම රජයේ මූලික වගකීමක් බව ඔහු අවසාන වශයෙන් සිහිපත් කළේය.
























