ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (02) වොෂින්ටනයේ සිට විශේෂ ප්‍රකාශයක් කරමින් ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම්වල තීරණාත්මක අදියර පිළිබඳව අනාවරණය කළේය. හෝර්මුස් සමුද්‍ර සන්ධියේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ ජාතිය ඇමතූ ඔහු කියා සිටියේ, ඉරානය ඉලක්ක කරගත් හමුදාමය අරමුණු රැසක් මේ වන විටත් සාර්ථක වී ඇති බවයි. එම මෙහෙයුම් සම්පූර්ණ කිරීමට තවත් ඇත්තේ ඉතා සුළු කාලයක් බවත්, ඉදිරි සති කිහිපය තුළ එම කටයුතු අවසන් කරන බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය.ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට අනුව ඉදිරි සති දෙකක හෝ තුනක කාලය ඇතුළත ඉරානයේ සියලුම විදුලි බලශක්ති මධ්‍යස්ථාන වෙත ප්‍රබල ප්‍රහාර එල්ල කිරීමට ඇමෙරිකාව සැලසුම් කර ඇත. මෙම දැවැන්ත ප්‍රහාර මාලාව හරහා ඉරානය නැවතත් “ශිලා යුගය” දක්වා ආපස්සට ඇද දමන බවට ට්‍රම්ප් අනතුරු ඇඟවූ අතර, ඉරානයේ බලශක්ති යටිතල පහසුකම් සම්පූර්ණයෙන්ම අකර්මන්‍ය කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව ද සඳහන් කළේය.කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම පියවර ගන්නා බව පවසන ට්‍රම්ප්, ඉරානය වහාම සාකච්ඡා මේසයට නොපැමිණෙන්නේ නම් එරට යටිතල පහසුකම් මුළුමනින්ම විනාශ කරන බවට දැඩි ස්ථාවරයක සිටියි. ඉරානය සහ ඇමෙරිකාව අතර පවතින මෙම උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් මැදපෙරදිග කලාපයේ දේශපාලන ස්ථාවරත්වය පිළිබඳව ලෝක අවධානය දැඩි ලෙස යොමු වී තිබේ.




















