ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සිකුරාදා මියාමි හි පැවැති ආයෝජන සමුළුවකදී ප්‍රකාශ කළේ වෙනිසියුලාව සහ ඉරානය තුළ අමෙරිකානු හමුදා ක්‍රියාමාර්ග ලැබූ සාර්ථකත්වය හමුවේ තම ඊළඟ අවධානය කියුබාව වෙත යොමු වන බවයි. කියුබාව සම්බන්ධයෙන් ගන්නා නිශ්චිත පියවර කුමක්දැයි ඔහු අනාවරණය නොකළද, දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින හවානා පාලනය බිඳ වැටීමේ අද්දර සිටින බව ඔහු අවධාරණය කළේය. කියුබානු නායකත්වයේ ඇතැම් පාර්ශව සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති පසුබිමක වුවද, අවශ්‍ය වුවහොත් හමුදාමය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවට ට්‍රම්ප් ඉඟි පල කළේය. “මා මෙම ප්‍රබල හමුදාව ගොඩනැගුවේ එය කිසිදා භාවිතා කිරීමට අවශ්‍ය නොවන බව පවසමින් වුවත්, සමහර අවස්ථාවලදී එය භාවිතා කිරීමට සිදු වනවා,” යැයි පවසමින් ඔහු කියුබාව සිය මීළඟ ඉලක්කය බව සඳහන් කළේය.මේ අතර, කියුබානු ජනාධිපති මිගෙල් ඩයස්-කැනෙල් ප්‍රකාශ කර ඇත්තේ විභව හමුදාමය ගැටුමක් වළක්වා ගැනීම සඳහා තම රට අමෙරිකාව සමඟ සාකච්ඡා පවත්වන බවයි. වෙනිසියුලාවේ නිකලස් මදුරෝ බලයෙන් පහ කිරීමෙන් පසු එරටින් ලැබුණු තෙල් සැපයුම නතර වීම හේතුවෙන් කියුබාව මේ වන විට දැඩි බලශක්ති සහ ප්‍රවාහන අර්බුදයකට මුහුණ දී සිටී. මාර්තු මස මුලදී ද ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණේ කියුබාව “මිත්‍රශීලී අත්පත් කර ගැනීමකට” යටත් විය හැකි බවත්, ඇතැම් විට එය මිත්‍රශීලී නොවිය හැකි බවත්ය.
























