උත්සව සමයේ ආරක්ෂාවට අමතර පොලිස් නිලධාරීන් 2,500ක්!

ඉදිරි උත්සව සමය තුළදී නීතිය හා සාමය පවත්වා ගැනීම සහ සාමකාමී පරිසරයක් සහතික කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට උපදෙස් දී ඇත. මෙහිදී ආගමික ස්ථාන කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිතය. ඒ අනුව, අදාළ ප්‍රදේශවල ආගමික ස්ථානවල ආරක්ෂක විධිවිධාන ශක්තිමත් කිරීම සඳහා එම ප්‍රදේශ භාර නිලධාරීන්ට ආගමික නායකයින් සමඟ සම්බන්ධ වන ලෙසට උපදෙස් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පැවසීය. විශාල පිරිස් සාප්පු සවාරි සඳහා එක්රැස් වන ප්‍රධාන නගරවල මෙන්ම මහජනතාව විශාල වශයෙන් රැස්වීමට අපේක්ෂා කරන ආගමික ස්ථානවල ආරක්ෂාව තහවුරු කිරීමට විශේෂ අවධානයක් යොමු කෙරේ. “භක්තිවතුන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා මහජන ආරක්ෂක කවුන්සිල සාමාජිකයින් මෙන්ම ආගමික ආයතනවල භාරකාර මණ්ඩල සාමාජිකයින් ද ශ්‍රී ලංකා පොලිසියට සහ ත්‍රිවිධ හමුදාවට සහාය වීමට ඉදිරිපත් වී සිටිති. සැක සහිත වාහන, පුද්ගලයින් හෝ බඩුබාහිරාදිය පිළිබඳව වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ පොලිස් නිලධාරියෙකුට දැනුම් දෙන ලෙස මම මහජනතාවගෙන් ඉල්ලා සිටිමි,” යනුවෙන් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය. විශේෂයෙන්ම උත්සව සමයේ ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා බස්නාහිර පළාත හරහා අතිරේක පොලිස් නිලධාරීන් 2,500ක් යෙදවීමට නියමිතය. මාර්ග දෙපස වාහන නැවැත්වීමේදී විශේෂයෙන් සුපරීක්ෂාකාරී වන ලෙසත්, තම බඩුබාහිරාදිය සුරක්ෂිත කර ගැනීමට පියවර ගන්නා ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා ඇත. මංකොල්ලකෑම් සහ සොරකම් ඇතුළු අපරාධ වැළැක්වීම සඳහා රාත්‍රී කාලයේදී විශේෂ ජංගම මුර සංචාරක ඒකක ද යොදවන බව පොලිසිය පවසයි.

What's your reaction?

Related Posts

1 of 893

Leave A Reply

Your email address will not be published. Required fields are marked *