ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය තහනම: මෙටා සමාගම ගිණුම් ලක්ෂ 5ක් අත්හිටුවයි!

ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරමින් ඔස්ට්‍රේලියාව පැනවූ නව නීතිය ක්‍රියාත්මක වූ මුල් දින කිහිපය තුළදී පමණක් ගිණුම් 550,000කට අධික ප්‍රමාණයක් අවහිර කිරීමට මෙටා (Meta) සමාගම පියවර ගෙන ඇත. පසුගිය දෙසැම්බර් මාසයේදී බලාත්මක වූ මෙම ඓතිහාසික නීතිය මඟින් වයස අවුරුදු 16ට අඩු දරුවන්ට ඉන්ස්ටග්‍රෑම් (Instagram) සහ ෆේස්බුක් (Facebook) වැනි ජනප්‍රිය වේදිකාවල ගිණුම් පවත්වාගෙන යාම සපුරා තහනම් කර තිබේ. හානිකර අන්තර්ගතයන්ගෙන් සහ ඇල්ගොරිතම මඟින් දරුවන්ට සිදුවන බලපෑම් අවම කිරීම සඳහා මෙම පියවර ගත් බව රජය පවසන අතර, ලොව දැඩිම සමාජ මාධ්‍ය නීතිය ලෙස මෙය සැලකේ. මෙහිදී දෙමාපියන්ගේ අවසරය මත හෝ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතා කිරීමට ඉඩ නොදීම විශේෂත්වයකි.​මෙම තහනමට අනුගත වෙමින් පළමු සතිය තුළදී පමණක් ඉන්ස්ටග්‍රෑම් ගිණුම් 330,639ක්, ෆේස්බුක් ගිණුම් 173,497ක් සහ ත්‍රෙඩ්ස් (Threads) ගිණුම් 39,916ක් අත්හිටුවීමට මෙටා සමාගම කටයුතු කර ඇත. කෙසේ වෙතත්, මෙටා සමාගම පෙන්වා දෙන්නේ මෙවැනි සමස්ත තහනමකට වඩා ආරක්ෂිත සහ වයසට ගැළපෙන අත්දැකීම් ලබා දීමට කර්මාන්තය උනන්දු කරවීම වඩාත් ප්‍රායෝගික බවයි. වයස තහවුරු කිරීමේ ක්‍රියාවලිය ඇප් ස්ටෝර් (App Store) මට්ටමින් සිදුවිය යුතු බවත්, එවිට දරුවන් වෙනත් ඇප් (Apps) වෙත සංක්‍රමණය වීම වැළැක්විය හැකි බවත් ඔවුහු තර්ක කරති.​මෙම ප්‍රතිපත්තිය දෙමාපියන් අතර බෙහෙවින් ජනප්‍රිය වී ඇති අතර අනෙකුත් ලෝක නායකයන්ගේ ද අවධානයට යොමු වී ඇත. එහෙත් ඇතැම් විශේෂඥයින් සහ මානසික සෞඛ්‍ය උපදේශකයින් පෙන්වා දෙන්නේ තාක්ෂණය රවටා දරුවන් මෙම තහනම මඟහැරීමට උත්සාහ කළ හැකි බවයි. එසේම, මෙමඟින් විශේෂ අවශ්‍යතා සහිත (neurodivergent) හෝ හුදෙකලා ප්‍රදේශවල වසන දරුවන්ට එකිනෙකා සමඟ සම්බන්ධ වීමට ඇති අවස්ථාව අහිමි වන බවට ද විවේචන එල්ල වී තිබේ.

What's your reaction?

Related Posts

1 of 566

Leave A Reply

Your email address will not be published. Required fields are marked *