ඖෂධ ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සහ පුළුල් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි. එහිදී ඖෂධ ප්‍රමිතීන් පවත්වාගෙන යාම සහ විධිමත් නියාමනයක් යටතේ ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු විය. ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (SLINTEC), ශ්‍රී ලංකා ජෛව තාක්ෂණ ආයතනය (SLIBTEC), කාර්මික තාක්ෂණ ආයතනය (ITI), ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI), ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) සහ වෛද්‍ය පර්යේෂණ ආයතනය (MRI) යන ආයතනවල නියෝජිතයෝ මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.මෙම ආයතන සතු රසායනාගාර පහසුකම් ඖෂධ පරීක්ෂාව සඳහා යොදා ගැනීම, ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගැනීම සහ පරීක්ෂණ කටයුතුවල විෂය පථය පුළුල් කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝව කරුණු විමසා බැලිණි. විශේෂයෙන්ම ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත ඉදිරිපත් කෙරෙන ඖෂධ ගුණාත්මක වාර්තාවල පවතින ගැටලු සහ අධීක්ෂණ කටයුතුවල ඇති බාධාවන් නිරාකරණය කර ගැනීම පිළිබඳව ද අවධානය යොමු විය.ජාතික ඖෂධ නියාමන අධිකාරියේ රසායනාගාරය මගින් පමණක් ඖෂධ පරීක්ෂා කිරීමේදී පවතින සීමාවන් හඳුනාගත් අමාත්‍යවරයා, අනාගතයේදී වඩාත් ව්‍යූහගත සහ පුළුල් වැඩපිළිවෙළක අවශ්‍යතාව අවධාරණය කළේය. එවැනි පද්ධතියක් ස්ථාපිත කිරීමට කාලය ගතවන බැවින්, පවතින අනෙකුත් රාජ්‍ය ආයතන හරහා මෙම කටයුතු සිදුකිරීමේ හැකියාව සොයා බලන ලෙස ඔහු උපදෙස් දුන්නේය. ඖෂධ සැපයුම් දාමයට බාධාවක් නොවන පරිදි, ගැටලු සහගත සහ සැක සහිත ඖෂධ සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් සියලු ආයතන පොදු දැක්මක් ඇතිව කටයුතු කළ යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.මෙම අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් වයි.එල්. මොහොමඩ් නවාබි සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

























