කටාර් රාජ්‍යයේ බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් එල්ල වූ ප්‍රහාර හේතුවෙන් එරට ද්‍රවීකෘත ස්වභාවික වායූ (LNG) නිෂ්පාදන කටයුතු අත්හිටුවා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ලෝකයේ සමස්ත ද්‍රවීකෘත ස්වභාවික වායූ අපනයනයෙන් සියයට 20ක පමණ දායකත්වයක් සපයන කටාර් රාජ්‍යය, කලාපීය නොසන්සුන්තා උත්සන්න වීමත් සමඟ තම ප්‍රධාන කාර්මික කලාපයන්හි නිෂ්පාදන මෙලෙස නතර කර ඇත. මෙම තත්ත්වය ලෝක බලශක්ති වෙළෙඳපොළ තුළ දැඩි කනස්සල්ලක් ඇති කර ඇති අතර, සැපයුම් හිඟයක් ඇතිවේ යැයි පවතින බිය නිසා ගෑස් මිල ගණන් ද ඉහළ ගොස් තිබේ.නිෂ්පාදන අත්හිටුවීමේ නිවේදනයත් සමඟ යුරෝපයේ (Dutch and British) තොග ගෑස් මිල සියයට 50කින් පමණ ඉහළ ගිය අතර, ආසියානු කලාපයේ LNG මිල ද සියයට 39කින් පමණ ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත්, මෙම මෙහෙයුම් නැවත ආරම්භ කරන නිශ්චිත දිනයක් පිළිබඳව කටාර් බලධාරීන් මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නොමැත.


























