විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක “රටම එකට” ජාතික මෙහෙයුමේ කුරුණෑගල දිස්ත්‍රික් වැඩසටහන අද නිල වශයෙන් ආරම්භ විය. ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පසුගිය ඔක්තෝබර් 30 වනදා ජාතික මට්ටමින් දියත් වූ මෙම වැඩපිළිවෙළේ දිස්ත්‍රික් සමාරම්භක උළෙල කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණේ අමාත්‍ය ආනන්ද විජේපාල, නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සහ වයඹ ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සහ මහජන ආරක්ෂක අමාත්‍යංශය එක්ව සංවිධානය කරන මෙම මෙහෙයුම ප්‍රධාන අංශ තුනක් ඔස්සේ දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය.මෙම ජාතික වැඩපිළිවෙළට සමගාමීව දිවයින පුරා ක්‍රියාත්මක වන විශේෂ වැටලීම් ද දැඩි කර ඇති අතර, ඊයේ දිනය තුළ පමණක් වැටලීම් 1,035ක් සිදු කරමින් සැකකරුවන් 1,030ක් අත්අඩංගුවට ගෙන ඇත. එහිදී හෙරෝයින්, අයිස් සහ හෂීෂ් වැනි මාරාන්තික මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පිරිසෙන් 11 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදු කෙරේ. මීට අමතරව එක් පුද්ගලයෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමට ද පියවර ගෙන ඇති බව වාර්තා වේ.එමෙන්ම, අපරාධ හා මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින් දියත් කළ විශේෂ මෙහෙයුම් යටතේ පුද්ගලයින් 28,300කට අධික පිරිසක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී විවෘත වරෙන්තුකරුවන් ඇතුළු 600කට අධික පිරිසක් පොලිස් භාරයට ගැනුණි. රථවාහන වැරදි සහ බීමත් රියදුරන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කළ ආරක්ෂක අංශ, පුද්ගලයින් 4,307 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේ. මෙම සමස්ත ක්‍රියාවලියේ මූලික අරමුණ වී ඇත්තේ මත්ද්‍රව්‍යවලින් තොර සුරක්ෂිත සමාජයක් ගොඩනැගීම සඳහා ක්ෂේත්‍ර ගණනාවකින් ජනතාව දැනුවත් කිරීම සහ නීතිය බලාත්මක කිරීමයි.





















