කොළඹ රථ වාහන තදබදයට විසඳුමක්: බාලදක්ෂ මාවත ගුවන් පාලම විවෘතයි

කොළඹ නගර මධ්‍යයේ පවතින දැඩි රථ වාහන තදබදයට සහනයක් ලබා දෙමින් රුපියල් බිලියන 3.2ක වියදමින් ඉදිකළ බාලදක්ෂ මාවත ගුවන් පාලම අද (19) ජනතා අයිතියට පත් කෙරිණි. ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පාලම විවෘත වූ අතර, මෙය කොළඹ නගරයේ තදබදය අවම කිරීම සඳහා ක්‍රියාත්මක පුළුල් ව්‍යාපෘතියක් යටතේ ඉදිකළ තෙවන ගුවන් පාලමයි. දිගින් මීටර් 340ක් සහ පළලින් මීටර් 11ක් වන මෙම පාලම හරහා ගාලු මුවදොර දෙස සිට චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත ඔස්සේ කොම්පඤ්ඤවීදිය දෙසට ඒකපාර්ශ්විකව වාහන ධාවනය කිරීමට අවස්ථාව සලසා දී ඇත.​ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ තිරසාර මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ප්‍රතිපාදන මත මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේ, රජයේ කාර්යාල සහ ප්‍රධාන හෝටල් පිහිටා ඇති මෙම කාර්යබහුල කලාපයේ පවතින තදබදය පාලනය කිරීම සඳහා ගුවන් පාලම් තුනක් ඉදිකිරීමට වසර කිහිපයකට පෙර සැලසුම් කර තිබූ බවත් ඉන් දෙකක් මේ වන විටත් නිම කර ඇති බවත්ය.​ආර්ථික අර්බුදය ඇතුළු විවිධ හේතූන් මත 2022 වසරේදී නිම කිරීමට නියමිතව තිබූ මෙම ව්‍යාපෘතිය ප්‍රමාද වූ බවත්, එම ප්‍රමාදය හේතුවෙන් රුපියල් බිලියන 2.7ක් ලෙස ඇස්තමේන්තු කර තිබූ පිරිවැය රුපියල් බිලියන 3.2 දක්වා බිලියනයකින් පමණ ඉහළ ගිය බවත් අමාත්‍යවරයා පැවසීය. එසේම, පොලිස් නිල නිවාස සම්බන්ධයෙන් පැවති ගැටලු නිරීක්ෂණ චාරිකාවලින් අනතුරුව විසඳා ගනිමින් ඉදිකිරීම් කටයුතු කඩිනම් කළ බවත්, මෙම පාලම විවෘත කිරීම හරහා ජනතාවගේ කාලය ඉතිරි කර ගනිමින් පහසුවෙන් ගමන් කිරීමට අවස්ථාව ලැබෙන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

What's your reaction?

Related Posts

1 of 973

Leave A Reply

Your email address will not be published. Required fields are marked *