ඉන්දියාවෙන් වැඩම කරනු ලබන සර්වඥ ධාතූන් වහන්සේලා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පෙබරවාරි 5 සිට 11 දක්වා ප්‍රදර්ශනය කිරීමට නියමිත බැවින්, ඒ වෙනුවෙන් විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරයි. පෙබරවාරි 4 වනදා දිවයිනට වැඩම කරවන ධාතූන් වහන්සේලා, පෙබරවාරි 5 වනදා පෙරවරු 6:00 සිට පෙබරවාරි 11 වනදා පෙරවරු 7:00 දක්වා අඛණ්ඩව මහජන ගෞරවය සඳහා විවෘතව තැබේ. විදේශිකයන් ඇතුළු විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසත්, හිස්වැසුම්, විශාල බෑග් හෝ ජැකට් වැනි අනවශ්‍ය භාණ්ඩ රැගෙන ඒමෙන් වළකින ලෙසත් පොලිසිය උපදෙස් දෙයි. විශේෂයෙන්ම ධාතු මන්දිරය තුළ ජංගම දුරකථන භාවිතය සපුරා තහනම් වේ.බැතිමතුන්ගේ පහසුව උදෙසා පැරණි ආරක්ෂක අමාත්‍යාංශ පිටිය, පෝර්ට් සිටි සහ ෂැංග්‍රිලා හෝටලය අසල සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක වන අතර, නියමිත ස්ථානවල පමණක් රථවාහන නවත්වන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටී. ප්‍රදර්ශන කාලය තුළ ජිනරතන මාවත, පාර්ක් වීදිය, ස්ටේපල් වීදිය සහ ජේම්ස් පීරිස් මාවතේ කොටස් රථවාහන සඳහා වසා තැබෙන අතර නවම් මාවත, පෙරහැර මාවත, ධර්මපාල මාවත ඇතුළු මාර්ග කිහිපයක රථවාහන නැවැත්වීම සීමා කර ඇත. ඒ වෙනුවට පෝර්ට් සිටි, ග්‍රීන් පාත්, විහාරමහාදේවි උද්‍යානය අසල සහ කොළඹ සිටි සෙන්ටර් අසල පැරණි සතොස භූමිය ඇතුළු ස්ථාන රැසක නොමිලේ රථවාහන නැවැත්වීමේ පහසුකම් සලසා දී ඇත. විහාරස්ථානය තුළ බෞද්ධ සම්ප්‍රදායන්ට අනුකූලව හැසිරෙන ලෙසත්, ආරක්ෂක අංශ ලබාදෙන උපදෙස් පිළිපදින ලෙසත් පොලිසිය වැඩිදුරටත් දන්වා සිටියි.


























