ගලෙන්බිඳුණුවැව පොලිස් බල ප්‍රදේශයට අයත් ගෝමරන්ගල්ල ප්‍රදේශයේ පශු සම්පත් ගොවිපළක නීති විරෝධී ලෙස ගබඩා කර තිබූ දැවැන්ත ඩීසල් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ඉන්ධන ජාවාරමක් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව මාර්තු 03 වනදා ගලෙන්බිඳුණුවැව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කළ බවයි. එහිදී බැරල් 10ක අසුරා තිබූ ඩීසල් ලීටර් 1,900කට ආසන්න ප්‍රමාණයක් පොලිසිය විසින් සොයා ගන්නා ලදී. අත්අඩංගුවට ගත් සැකකරු ගෝමරන්ගල්ල ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඔහු අද (මාර්තු 04) කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. ගලෙන්බිඳුණුවැව පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වයි.

























