පසුගිය ඉරිදා සවස කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වූ “උණුසුම සහ ප්‍රීතිය සමඟ චීන අලුත් අවුරුද්ද සැමරීම” යන උත්සවය අමතමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොං මහතා ප්‍රකාශ කළේ, චීනය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව තවදුරටත් ගැඹුරු කරමින් දෙරටේ පොදු අනාගතයක් වෙනුවෙන් කැපවන බවයි. එළඹෙන “අශ්ව වසර” (Year of the Horse) වෙනුවෙන් සුබ පැතුම් එක්කළ තානාපතිවරයා, චීනයේ ආර්ථික ප්‍රගතිය සහ ශ්‍රී ලංකාව සමඟ පවතින වර්ධනය වන හවුල්කාරිත්වය පිළිබඳව කරුණු පැහැදිලි කළේය. වසන්ත උත්සවය යනු චීන සංස්කෘතික මූලයන් නියෝජනය කරන්නක් පමණක් නොව, එය යුනෙස්කෝ අස්පෘශ්‍ය සංස්කෘතික උරුමයක් ලෙස ලෝක මට්ටමින් පිළිගැනීමට ලක්ව ඇති බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.2025 වසර චීනයට වැදගත් සන්ධිස්ථානයක් බවත්, චීන දළ දේශීය නිෂ්පාදිතය යුවාන් ට්‍රිලියන 140 ඉක්මවා යමින් ආර්ථික ස්ථාවරත්වය තහවුරු කර ඇති බවත් තානාපතිවරයා සඳහන් කළේය. කෘත්‍රිම බුද්ධිය, ක්වොන්ටම් තාක්ෂණය සහ අභ්‍යවකාශ ගවේෂණය යන අංශවලින් චීනය ලබා ඇති දියුණුව සිය නවීකරණ ගමනේ ප්‍රධාන එන්ජිම බව ඔහු පැවසීය. එමෙන්ම ගෝලීය වශයෙන් සාමය සහ ස්ථාවරත්වය වෙනුවෙන් පෙනී සිටින චීනය, “එක් තීරයක් – එක් මාවතක්” (Belt and Road Initiative) වැඩපිළිවෙළ යටතේ ජාත්‍යන්තර සහයෝගීතාව තවදුරටත් පුළුල් කරන බවද ඔහු අවධාරණය කළේය.චීන – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතාව නව අදියරකට පිවිස ඇති බව පැවසූ චී චෙන්හොං මහතා, චීන ජනාධිපති ෂී ජින්පිං සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මෙන්ම අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීන් අතර පැවති ඉහළ මට්ටමේ සාකච්ඡා දෙරටේ අනාගත ගමනට උපායමාර්ගික මඟපෙන්වීමක් සපයා ඇති බව ප්‍රකාශ කළේය. කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සක්‍රීයව දායක වන ප්‍රධාන මධ්‍යස්ථාන බව පෙන්වා දුන් ඔහු, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන්ට ලබාදුන් සහන සහ පාසල් නිල ඇඳුම් ලබාදීම වැනි මානුෂීය ආධාර හරහා චීනය නිරන්තරයෙන් ශ්‍රී ලංකාවට සහය වන බව සිහිපත් කළේය.2026 වසරේ සිට ආරම්භ වන චීනයේ 15 වන පස් අවුරුදු සැලැස්ම සමඟ නවීන සමාජවාදී රටක් ගොඩනැගීමේ ඉලක්කය කරා චීනය ගමන් කරන බව පැවසූ තානාපතිවරයා, දෙරටේ ජනතාව අතර සබඳතා තවදුරටත් වර්ධනය කිරීමට කැපවන බව අවසාන වශයෙන් ප්‍රකාශ කළේය.


























