ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඉරිදා (අද) දින ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩ බැස්ස අතර, එහිදී ඔහු පිළිගනු ලැබුවේ මැලේසියානු අගමැති අන්වර් ඊබ්‍රාහිම් විසිනි.ජනාධිපති ට්‍රම්ප් ගුවන්තොටුපළදී සාම්ප්‍රදායික නැටුමක නිරත වූ මැලේසියානු කණ්ඩායමකට මොහොතකට එක්වී නර්තනයේ යෙදෙන ආකාරය දැකගත හැකි විය. ඔහු එක් ස්ථානයක සිට නර්තනයේ යෙදීමෙන් පසු අත වනමින්, ආසියාන් (ASEAN) කණ්ඩායමේ නායකයින් සමඟ පැවැත්වෙන සමුළුවට සහභාගී වීමට පෙර කාම්බෝජය සහ තායිලන්තය අතර පුළුල් කරන ලද සටන් විරාම ගිවිසුමක් අත්සන් කිරීමටද නියමිතව තිබුණි. මෙම වසරේ මුලදී මතභේදාත්මක දේශසීමාවක් ඔස්සේ කෙටි ගැටුමක පැටලී සිටි රටවල් දෙකක් ලෙස ඔවුන් සැලකේ.ආසියානු සංචාරය ආරම්භ කළ ට්‍රම්ප් මහතා ප්‍රථමයෙන් මැලේසියාවට පැමිණි අතර, ඉන්පසු ජපානයට සහ දකුණු කොරියාවට යාමටත්, චීන ජනාධිපති ෂී ජින්පින් මහතා හමුවීමටත් යෝජනා වී ඇත.රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපතිවරයා දේශීය වේලාවෙන් පෙ.ව. 10ට පමණ ක්වාලාලම්පූර් වෙත පැමිණි අතර, ඔහු විසින් මැදිහත් වී සම්පාදනය කළ බවට ප්‍රකාශ කරන කාම්බෝජය සහ තායිලන්තය අතර ඇති කරගත් ගිවිසුමට අදාළ උත්සවයට සහභාගී වේ. මෙම මැදිහත්වීම සම්බන්ධයෙන් තමන් ආඩම්බර වන බව ඔහු පවසා තිබේ.ජූලි මාසයේදී තායිලන්තය සහ කාම්බෝජය අතර මතභේදාත්මක දේශසීමා ආශ්‍රිතව දින පහක් පුරා පැවති ගැටුමෙන් පුද්ගලයන් දුසිම් ගණනක් මිය ගිය අතර, ලක්ෂ ගණනක් අවතැන් විය. ඉන් පසු ඇමෙරිකානු ජනාධිපතිවරයා දෙරට සමඟ ඇති වෙළෙඳ ගිවිසුම් නවත්වන බවට තර්ජනය කර තිබුණි. තායිලන්තය සහ කාම්බෝජය අතර දේශසීමා ආරවුල් හේතුවෙන් වරින් වර ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වන බව AP වාර්තා කළේය.තායිලන්තයේ අගමැති අනුටින් චාන්විරකුල් මහතාට, සිකුරාදා (24) රාජධානියේ මව් රැජින වූ සිරික්ත් රැජිනගේ අභාවය හේතුවෙන් උත්සවයට සහභාගී වීමට නොහැකි වනු ඇතැයි අනුමාන කෙරුණද, පසුව ඔහු ට්‍රම්ප් මහතා සමඟ වේදිකාවට එක්වීමට පැමිණෙන බව නිවේදනය කළේය.ට්‍රම්ප් මහතා, නර්තන ශිල්පීන් සමඟ නර්තනයේ යෙදීමෙන් අනතුරුව එක් අතකින් ඇමෙරිකානු ධජයකුත්, අනෙක් අතින් මැලේසියානු ධජයකුත් ගෙන අන්වර් සමඟ නගරයට යාම සඳහා සිය ලිමොසින් රථයට ගොඩ වූ බව වාර්තා වේ.තවද, මෙම සති අන්තයේ සමුළුවට සහභාගී වන බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා සමඟ ඉහළ ඇමෙරිකානු තීරුබදු පිළිබඳව සාකච්ඡා කිරීමටද ට්‍රම්ප් මහතා නියමිතව ඇත.





















