ජනාධිපති අරමුදල ප්‍රාදේශීය මට්ටමින් සේවා සැපයීම පෙබරවාරි 07 වැනි දා සිට

නව තාක්ෂණය හා ජාලකරණය මඟින් ජනාධිපති අරමුදලේ සේවාව ජනතාව සමීපයටම ගෙන යාම මඟින් ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් යුතුව ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවා සැපයීමේ වැඩපිළිවෙළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ලබන 07දා ආරම්භ කිරීමට නියමිත ව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේනදය කරයි.

ඒ අනුව, කොළඹට පමණක් සීමා වී තිබූ ජනාධිපති අරමුදලේ කාර්යාලයීය සේවා සැපයීම දිවයින පුරා ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල 341හිම ස්ථාපිත කෙරෙන උප කාර්යාල මඟින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල පහක මීට අදාළ නියමු ව්‍යාපෘතිය දැනටමත් ක්‍රියාත්මක වන අතර එය දිවයින පුරා ක්‍රියාත්මක කිරීම මේ අනුව පෙබරවාරි 07 වැනි දා සිට ඇරඹේ.
ජනාධිපති අරමුදලේ නව වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ අද (25) පැවති මාර්ගගත සාකච්ඡාවේ දී මෙම කරුණු අනාවරණය විය.
ජනාධිපති අරමුදලට නව ඩිජිටල්කරණ හා ජාලකරණ වැඩපිළිවෙල හඳුන්වාදීම තුළින් ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායි සේවාවක් සැපයීමට කටයුතු කරන බව ජනාධිපති අරමුදලේ ලේකම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා සඳහන් කළේය.
මෙහි දී ඕනෑම කෙනෙකුට තම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා තමන්ගේ රෝගයට අදාළ මුදල ඉල්ලුම් කළ හැකි අතර ඊට අදාළ ලිපි ලේඛන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ගෙනවිත් භාර දිය හැකිය.
රෝගීන් තෝරා ගන්නා ආකාරය, ඔවුන්ගේ ලිපි ලේඛන සකස් කරන ආකාරය, සහ ජනාධිපති අරමුදලේ වගකීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී ප්‍රාදේශීය ලේකම්වරු දැනුවත් කිරීම සිදු කෙරිණි.

What's your reaction?

Related Posts

1 of 565

Leave A Reply

Your email address will not be published. Required fields are marked *