ජන ජීවිතය සුරක්ෂිත කරන දැවැන්ත ආර්ථික සහන පැකේජයක් ජනපතිගෙන්

ගෝලීය යුදමය වාතාවරණය හමුවේ පීඩාවට පත් මෙරට ජනතාවට සහනයක් සැලසීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශේෂ ආර්ථික සහන පැකේජයක් පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශයට පත් කරන ලදී. එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ, ඉන්ධන සහ බලශක්ති පිරිවැය ඉහළ යාම නිසා ජන ජීවිතයට එල්ල වන බලපෑම අවම කිරීම රජයේ මූලික අරමුණ බවයි.​පවතින වෙළෙඳපොළ තත්ත්වයන් මත ඩීසල් ලීටරයක මිල රුපියල් 600 ඉක්මවා ගියද, ලබන මැයි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි සාමාන්‍ය ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 100ක සහ පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 20ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත. මේ වෙනුවෙන් ඉදිරි මාස තුන සඳහා රුපියල් කෝටි 6,000ක වැයක් දැරීමට රජය සූදානම් වුවද, සුපර් ඩීසල් සහ සුපර් පෙට්‍රල් මිල වෙළෙඳපොළ අගයට අනුව තීරණය වනු ඇත.​විදුලි පාරිභෝගිකයින් වෙත පැටවෙන අමතර පිරිවැය පාලනය කිරීම සඳහා ඒකක 90ට වඩා අඩුවෙන් භාවිත කරන කාණ්ඩ සඳහා රුපියල් බිලියන 15ක සහනාධාරයක් වෙන් කර තිබේ. වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් තාප බලාගාර මඟින් විදුලිය ජනනය කිරීමට සිදුවීම නිසා දැරීමට සිදුවන අධික පිරිවැය ජනතාව මත පැටවීම වෙනුවට මාස තුනක කාලයක් සඳහා රජය විසින්ම එම බර දැරීමට මෙහිදී තීරණය කර ඇත.​අස්වැසුම වැඩසටහන හරහා අඩු ආදායම්ලාභී පවුල් සඳහා 2026 අප්‍රේල් මාසයේදී විශේෂ දීමනාවක් ලබාදීමට කටයුතු යොදා තිබේ. ඒ යටතේ අන්ත දිළිඳු කාණ්ඩයේ පවුලකට රුපියල් 7,500ක් ද, දුප්පත් පවුලකට රුපියල් 5,000ක් සහ සංක්‍රාන්තික පවුලකට රුපියල් 2,500ක් බැගින් අමතරව හිමිවේ. මෙය පවුලක සාමාජික සංඛ්‍යාව නොසලකා සියලු සුදුසුකම්ලාභීන්ට එක හා සමානව හිමිවන සුවිශේෂී ප්‍රතිලාභයකි.​ගොවි ජනතාව දිරිමත් කරමින් එළැඹෙන යල කන්නය සඳහා පොහොර සහනාධාරය හෙක්ටයාරයකට රුපියල් 30,000 දක්වාත්, අතිරේක භෝග සඳහා රුපියල් 18,000 දක්වාත් ඉහළ නංවා ඇත. එමෙන්ම, ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා යූරියා පොහොර මිටියක් රුපියල් 10,200ක ස්ථාවර මිලකට ලබාදීමට ද කටයුතු සැලසුම් කර ඇත. මෙය කෘෂිකාර්මික නිෂ්පාදන පිරිවැය අඩු කිරීමට මහත් පිටුවහලක් වනු ඇත.​ධීවර කර්මාන්තයට සහන සැලසීමක් ලෙස එක්දින යාත්‍රා සඳහා මාස තුනක කාලයක් ඉන්ධන ලීටරයකට රුපියල් 50ක වට්ටමක් හිමිවන අතර, බහුදින යාත්‍රා සඳහා රුපියල් 150,000ක විශේෂ එකවර ගෙවීමක් සිදු කිරීමට නියමිතය. මෙම සහන පැකේජය හරහා වඩාත් අවශ්‍ය පිරිස් වෙත සෘජු ආර්ථික සහාය ලබා දීමට රජය පූර්ණ අවධානය යොමු කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,085

Leave A Reply

Your email address will not be published. Required fields are marked *