විදේශ රැකියා වංචාවලට සම්බන්ධ සැකකරුවන් පස්දෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 2026 වසරේ මුල් සතිය තුළ සිදුකළ වැටලීම්වලදී මෙම පිරිස කොටුකරගත් බව කාර්යාංශය සඳහන් කරයි. එහිදී බොරලැස්ගමුව ප්‍රදේශයේ බලපත්‍ර රහිතව පවත්වාගෙන ගිය ආයතනයක් වැටලූ නිලධාරීන්, ඩුබායි රාජ්‍යයේ කර්මාන්තශාලා රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහි තිබී රැකියා ගිවිසුම්, අයදුම්පත් සහ පරිගණක උපකරණ අත්අඩංගුවට ගත් අතර, සැකකරු ජනවාරි 20 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.මේ අතර, ජපන් භාෂා පුහුණු මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යමින් ජපානයේ රියදුරු රැකියා ලබාදෙන බව පවසා වංචා කළ කාන්තාවන් දෙදෙනෙකු ද බොරලැස්ගමුවේදී අත්අඩංගුවට ගෙන ඇත. එම ස්ථානය පරීක්ෂා කිරීමේදී විදුහල්පතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ගේ නමින් සකස් කරන ලද ව්‍යාජ නිල මුද්‍රා රැසක් මෙන්ම ව්‍යාජ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සහතික ද සොයාගෙන තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය මගින් විදුහල්පතිවරුන්ට පමණක් නිකුත් කරන ශිෂ්‍ය ප්‍රගති වාර්තා පොත් ද එහි තිබී සොයාගෙන ඇත. ජපානයේ සිටින මොවුන්ගේ ඥාතියෙකු මාර්ගයෙන් මෙම ජාවාරම මෙහෙයවා ඇති අතර, අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා ජනවාරි 19 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.


























