ජාත්‍යන්තර අර්බුද හමුවේ රජයේ “වැට උඩ” විදේශ ප්‍රතිපත්තිය දැඩි විවේචනයට!

මැදපෙරදිග යුද උණුසුම හමුවේ වත්මන් රජය අනුගමනය කරන අපැහැදිලි විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ අසරණ වී ඇති බවත්, මධ්‍යස්ථභාවය යනු ප්‍රශ්නවලින් පැන යාම නොවන බවත් විපක්ෂයේ දේශපාලන නායකයෝ පෙන්වා දෙති. ඉරාන නෞකාවක් මෙරට මුහුදු සීමාවේදී ප්‍රහාරයට ලක්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළේ, එම නෞකාව ලංකාවට පැමිණියේ රජයේ නිල ආරාධනයකට අනුව බව ඉරාන තානාපතිවරයා පවසද්දී රජය එය ප්‍රතික්ෂේප කිරීම රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් බවයි. දෙවන ලෝක යුද සමයේදී පවා මෙවැනි ප්‍රහාර එල්ල නොවූ බවත්, ජාත්‍යන්තර මුහුදු නීතිය උල්ලංඝනය වෙද්දී රජය නිහඬව සිටීම මධ්‍යස්ථභාවය නොව වගකීම් පැහැර හැරීමක් බවත් ඒ මහතා අවධාරණය කළේය.​හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ මුජිබර් රහුමාන් යන මහත්වරුන් මෙහිදී පෙන්වා දුන්නේ බලයට පත්වීමට පෙර ඇමරිකානු විරෝධයක් පෙන්නුම් කළ වත්මන් පාලකයන්, අද වන විට මෙරට සිටින ඇමරිකානු තානාපතිවරයාට පවා බිය වී නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවයි. ඉරානය සමඟ සමීප සබඳතා පවත්වමින් සහන මිලට තෙල් ලබා ගැනීමට ඇති අවස්ථාවන් පවා රජයේ දුර්වල රාජ්‍ය තාන්ත්‍රිකභාවය නිසා මගහැරී ගොස් ඇති බව ඔවුහු චෝදනා කරති. සිරිමාවෝ බණ්ඩාරනායක සහ ජේ.ආර්. ජයවර්ධන වැනි නායකයන් අනුගමනය කළ සැබෑ නොබැඳි පිළිවෙත වර්තමානයට අහිමි වී ඇති බවත්, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී සහ ඉන් පිටතදී පරස්පර ප්‍රකාශ සිදු කරමින් ජනතාව නොමග යවන බවත් විපක්ෂය පෙන්වා දෙයි.​මැදපෙරදිග අර්බුදය ලෝක ව්‍යාප්ත ආර්ථික අර්බුදයක් දක්වා වර්ධනය වෙද්දී, දේශීය බලශක්ති ක්ෂේත්‍රය අගාධයකට යමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය. හෝමුස් සමුද්‍ර සන්ධිය වැනි තීරණාත්මක මුහුදු මාර්ග අවහිර වීමෙන් ඉන්ධන සහ ගෑස් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, එය මෙරට තේ අපනයනයට සහ රුපියලේ අගයට දරුණු ලෙස බලපා ඇති බව ඔහු පැවසීය. අතීතයේදී අනාවැකි කී විපක්ෂයේ යෝජනා උපහාසයට ලක් කළ පාලකයන්, අද වන විට විසඳුම් සෙවීමට නොහැකිව පසුගිය පාලනයන් විවේචනය කරමින් කාලය නාස්ති කරන බවට ද මෙහිදී චෝදනා එල්ල විය.​ලොව පුරා ළමුන් සහ කාන්තාවන් දහස් ගණනින් මියයන අමානුෂික යුද්ධය වහා නතර කිරීමට රජය කොන්ද පණ ඇතිව ජාත්‍යන්තරය හමුවේ හඬක් නැගිය යුතු බව හිටපු මන්ත්‍රී අසාද් සාලි මහතා ප්‍රකාශ කළේය. මානුෂීය වගකීම් සහ ජාත්‍යන්තර නීතිය සුරැකීමට මැදිහත් නොවී ඇමරිකානු බලපෑම් මත කටයුතු කිරීම ලංකාව වැනි රටකට කිසිසේත් උචිත නොවන බව අවධාරණය කළ විපක්ෂ නායකයෝ, පවතින බලශක්ති සහ ආර්ථික අනාරක්ෂිතභාවයෙන් ජනතාව බේරා ගැනීමට කඩිනම් විකල්ප වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන ලෙස රජයට බල කර සිටියහ.

What's your reaction?

Related Posts

1 of 1,065

Leave A Reply

Your email address will not be published. Required fields are marked *