රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා මහමඟදී අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කිරීම ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා දැඩි ලෙස හෙළා දකී. ඔහු මේ බව ප්‍රකාශ කළේ අභියාචනාධිකරණය හමුවේ කරුණු දක්වමිනි.මෙම කරුණු දැක්වීම සිදු වූයේ හිටපු බුද්ධි අංශ සාමාජිකයෙකු වන කර්නල් කැලුම් මන්දුමගේ විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදීය. තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු එහිදී ඉල්ලා තිබුණි.රොහන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ අලි සබ්රි මහතා පෙන්වා දුන්නේ සුරේෂ් සලේ යනු මෙරට ජාතික ආරක්ෂාව වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකළ නිලධාරියෙකු බවයි. විශේෂයෙන්ම එල්.ටී.ටී.ඊ. නායකයන් මෙල්ල කිරීමේ මෙහෙයුම්වල ඔහු ප්‍රමුඛයෙකු වූ බවත් එහිදී සඳහන් විය.කුමරන් පද්මනාදන් මෙරටට රැගෙන ඒම වැනි සංකීර්ණ මෙහෙයුම්වලට සලේ මහතා නායකත්වය දුන් බව පෙන්වා දුන් නීතිඥවරයා, ජාතික ආරක්ෂාව සම්බන්ධ විෂයයන් සමඟ සෙල්ලම් කිරීම අතිශය භයානක බවත් අවධාරණය කළේය.2015 වසරේදී ද මෙවැනිම ක්‍රියාදාමයන් සිදුවූ බවත්, එහි අවසාන ප්‍රතිඵලය වූයේ සමස්ත රටේම ආරක්ෂාව බිඳවැටීම බවත් ඔහු සිහිපත් කළේය. එවැනි තත්ත්වයන් යළි ඇතිවීම රටට හිතකර නොවන බව ඔහුගේ තර්කය විය.වවුනතීව් පොලිස් නිලධාරීන් ඝාතනය කිරීමේ පරීක්ෂණ නොමඟ යැවූ බවට තම සේවාදායකයාට එල්ල වී ඇති චෝදනා පදනම් විරහිත බවත්, ඒ සඳහා කිසිදු සාක්ෂියක් නොමැති බවත් අලි සබ්රි මහතා අධිකරණයට ප්‍රකාශ කළේය.විමර්ශන මෙහෙයවන පාර්ශවයන්ගෙන් තම සේවාදායකයාට සාධාරණයක් ඉටු වෙතැයි අපේක්ෂා කළ නොහැකි බව පැවසූ ඔහු, මෙම පරීක්ෂණ දේශපාලන සරණාගතභාවය පතන්නන්ගේ ප්‍රකාශ මත පදනම් වී ඇති බවත් පෙන්වා දුන්නේය.පාස්කු ප්‍රහාරය වැළැක්වීමට බුද්ධි අංශ අනතුරු ඇඟවීම් ලබා දී තිබියදී පොලීසිය නිසි පියවර නොගැනීම නිසා විනාශය සිදු වූ බවත්, දැන් සිදුවන්නේ වින්දිතයන්ට යුක්තිය ඉටු නොවන ක්‍රියාදාමයක් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.පෙත්සම්කරු වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු දැක්වීම අදින් අවසන් වූ අතර, නඩුවේ වැඩිදුර විභාගය ලබන මාර්තු මස 24 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කළේය.


























